(ඔක්තෝබර් 24 දාට යෙදුණු ගාමිණි දිසානායක මහතාගේ ගුණ සමරු දිනය වෙනුවෙනි.)
ලොව සමහර ශ්‍රේෂ්ඨ මිනිසුන් අප අතරින් සදහටම සමු ගන්නේ මුළු මහත් ජාතියේම අවාසනාව නිසා යැයි කිව හැකිය. 20 වන සියවසේ අවසන් දශක දෙක මෙරට හැඩ කරන්නට, ගොඩ නඟන්නට අවැසිම පුද්ගලයන් අකාලයේ සමුගත් කාල පරිච්ඡේදයකි. 1994 වසරේ ඔක්තෝබර් 24 වනදා කුරිරු ත්‍රස්තවාදයේ බිල්ලක් වෙමින් ජාතියෙන් සමුගත් ගාමිණි දිසානායක මහතාද එවන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. රටේ පළමු පුරවැසියා ලෙස ජනතා ඡන්දයෙන් අබිසෙස් ලබන්නට ඔන්න මෙන්න තිබියදී ඔහුට දිවියෙන් සමු ගන්නට සිදු විය. ගාමිණි දිසානායකයන් මෙලොවින් සමුගෙන පසුගිය ඔක්තෝබර් 24 වනදාට විසි අට වසරක් සපිරුණි.
1942 මාර්තු 20 වනදා මහනුවරදී උපන් ගාමිණි දිසානායක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. දරුවන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවන දරුවා වූ ගාමිණිගේ පවුල් පසුබිම දේශපාලනය හා බැඳී පැවතුණි. ගාමිණි දිසානායක මහතාගේ පියා එවකට පාර්ලිමේන්තුවේ අමාත්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. ත්‍රිත්ව විද්‍යාලයේ මූලික අධ්‍යාපන කටයුතුවලින් පසුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා කේම්බ්‍රිජ් වුල්ෆ්සන් කොලිජීය හා එක් වන ගාමිණි දිසානායක මහතා ඉනික්බිතිව ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිය හදාරා නීතිඥයෙක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේය.
ගාමිණි දිසානායක මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ 1970 මහා මැතිවරණයෙනි. ගාමිණි දිසානායක මහතා 1970 වසරේ පැවති මහ මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එතුමාගේ පියා වූ ඇන්ඩෲ දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු ලේකම්වරයෙක්ව කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුව ලෙස බලපෑවේය. නමුත් ඔහුගේ නාමයෝජනාව දෛවෝපගත ලෙස ප්‍රතික්ෂේප විය. ඉන් අනතුරුව ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් ව පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1970 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ අතර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 18 දෙනා අතර කෝඩුකාරයෙක් ලෙස ගාමිණි දිසානායක මහතාද සිටීම සුවිශේෂි වෙයි.
නමුත් ගාමිණි දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිය දේශපාලන ජීවිතය ආරම්භයේදීම අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. ඔහුගේ මන්ත්‍රී ධුරයට එරෙහිව පෙත්සමක් ගොනු කෙරුණු අතර ඉන් ඔහු පරාජයට පත් විය. එහිදී පාර්ලිමේන්තු අසුන පමණක් නොව ගාමිණි දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය පවා වසර හතක කාලයකට අහෝසි විය. නමුත් එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ගාමිණි දිසානායක මහතා වසරක් තුළ නැවතත් ප්‍රජා අයිතිය තහවුරු කරගෙන 1972 වසරේදී අතුරු මැතිවරණයක් හරහා නැවත පාර්ලිමේන්තු ආසනය දිනා ගත්තේය.
1977 මහා මැතිවරණය වෙනුවෙන් ගාමිණි දිසානායක මහතා තරග කළේ නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමිනි. එහිදී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණි දිසානායක මන්ත්‍රීවරයා, ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ඉන්පසුව ගාමිණි දිසානායක මහතා මාර්ගෝපදේශකත්වය ලබා දෙන ලදී. නිමා කිරීමට වසර 30ක් පමණ ගත වේ යැයි උපකල්පනය කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වසර 6ක් ඇතුළත නිමා කිරීමට තරම් ගාමිණි දිසානායක මහතාගේ මාර්ගෝපදේශනය ශක්තිමත් විය.
වසර ගණනාවක් ඉබි ගමනේ සිදු කෙරුණු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු, කඩිනම් කිරීම සඳහා ප්‍රධාන ජලාශ 4ක් ඉදිකිරීමට එහිදී යෝජනා කෙරුණි. ඒ අනුව මහවැලි ගං දිය උපයෝගී කරගෙන වික්ටෝරියා, කොත්මලේ, මාදුරුඔය සහ රන්දෙණිගල නම් ජලාශ හතරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි. 1978 වසරේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු වික්ටෝරියා ජලාශයේ කටයුතු 1985 වසරේ අවසන් කෙරුණි. 1985 වසරේ අප්‍රේල් 12 වන දා පැවති එහි විවෘත කිරීමේ උත්සවය සඳහා එවකට එංගලන්ත අගමැතිනි මාග්‍රට් තැචර්ද සහභාගි වූවාය. ඒ අතරතුර කැනඩා ආධාර යටතේ මාදුරුඔය ජලාශය ඉදිකර විවෘත කෙරුණි. කොත්මලේ, රන්දෙණිගල, උල්හිටිය සහ රත්කිඳ යන ජලාශයන්හි ඉදිකිරීම් කටයුතු ද කෙටි කලක් තුළ සිදු කෙරුණි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තුළින් රටක් ලෙස අප ලද ප්‍රතිලාභ අති මහත්ය. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා නිෂ්පාදනය කෙරෙන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් ලත් ප්‍රතිලාභයක් ලෙසය. එපමණක් නොව රටට අවශ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වඩා සම්පූර්ණ කිරීමට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉදි කෙරුණු ජලාශයන් සහ විදුලිබලාගාර උපකාරී වෙයි. දක්ෂ ඉංජිනේරුවරුන් යොදා ගනිමින්, කාලයට සාපේක්ෂ නවීන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින්, විදේශ ආධාර උපකාර ලබා ගනිමින් නිමා කිරීම සඳහා තිස් වසරක් ගත වේ යැයි උපකල්පනය කළ මහවැලි යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කිරීම සඳහා ගාමිණි දිසානායක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම සුවිශේෂී ලෙස බලපෑවේය.
1980 දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවයක් ඇති කිරීමටද ගාමිණි දිසානායක මහතා කැපවී කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පත් වූ ගාමිණි දිසානායක මහතා එහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා ගැනීම වෙනුවෙන් සුවිසල් මෙහෙයක් සිදු කළ බව අමතක කළ නොහැකිය. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 1982 වසරේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය පැවැත්වීමටද හැකියාව ලැබුණි. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේදීත් ගාමිණි දිසානායක මහතා ප්‍රමුඛව කටයුතු කළේය.
1989 මහා මැතිවරණයේදී ගාමිණි දිසානායක මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ වාර්තාගත මනාප ප්‍රතිශතයක්ද ලබා ගනිමිනි. එහිදී ඔහු වැවිලි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය. 1990 දශකයේ මුල් භාගයේ රටේ ආන්දෝලනයට තුඩු දුන් බල්ට්ජෙන්ස් පැහැර ගැනීමේ සිද්ධියේදී ගාමිණි දිසානායක මහතාට ද චෝදනා එල්ල විය. නමුත් අධිකරණයේදී ගාමිණි දිසානායක මහතා නිර්දෝෂිභාවය ඔප්පු කෙරුණි. එසේම 1991 වසරේදී ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරුණේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මතය. එහිදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි විය. නමුත් අභියෝග හොඳින් හුරුපුරුදු දිසානායක මහතා එහිදී නොසැලී කටයුතු කරමින් ලලිත් ඇතුලත්මුදලි මහතා සමඟ එක් ව රාජාලියා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගෙන දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ විය. 1993 වසරේදී එම පක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස සිය දේශපාලන භූමිකාවේ රැඳී සිටින්නට ගාමිණි දිසානායක මහතාට ජනතා මනාපය තවදුරටත් හිමි විය.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක් වීමත් සමඟ එහි නායකත්වයට ගාමිණි දිසානායක මහතා තේරී පත් විය. එයිනුත් නොබෝ දිනකින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් අනතුරුව නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් වීමට අවස්ථාව සැලසුණු නිසා ජාතික ලැයිස්තුවෙන් නැවතත් එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ගාමිණි දිසානායක මහතාට අවස්ථාව ලැබුණි. 1994 වසරේ එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණයේදී පරාජයට පත් වූ අතර එහිදී විපක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා පක්ෂය තුළ ඡන්දයක් පැවැත්වුණි. විපක්ෂ නායක ධුරය වෙනුවෙන් එක් පසෙකින් ගාමිණි දිසානායක මහතා තරග වදිද්දි අනෙක් පසින් තරග වැදුණේ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතාව කරට කර තරගයකින් පරාජය කරමින් එහිදී විපක්ෂ නායක තනතුර ලබා ගැනීමට ගාමිණි දිසානායක මහතාට හැකි විය. ඒ අනුව ඊට නොබෝ දිනකින් කැඳවුණු ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටද ගාමිණි දිසානායක මහතාට අවස්ථාව ලැබුණි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව එම තනතුරෙහි කටයුතු බාර ගත් ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් නොවීම ඊට ප්‍රධාන හේතුව විය. ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් සූදානම් කෙරුණි.
එනමුත් 1994-10-24 වනදා ජනාධිපතිවරණය වෙනුවෙන් තොටළඟ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බයක් නිසා ගාමිණි දිසානායක මහතාට මෙලොවින් සමු ගැනීමට සිදු වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට කාර්යභාර්යයක් සිදු කළ මිනිසෙකුගේ අවසන් පරිච්ඡේදය අමිහිරි ඛේදවාචකයක් ලෙස ඉතිහාසයේ ලියවමිනි.
පසිඳු මිහිරාන් රැටියල
නව අදහස දක්වන්න