1988 විජය කුමාරතුංග අභාවයෙන් පසුව එංගලන්තය බලා ගොස් සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය1993 වන විට මෙරටට පැමිණ නැවත ශ්‍රිලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවූ පසු පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන මහ ඇමැතිනිය පත්වීමත් 1993 දකුණු පළාත් සභාව සඳහා පැවැති හදිසි මැතිවරණයෙන් පාලක එජාපය පරාජය වීමත් සමඟ විපක්ෂ පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට වාසිදායක දේශපාලන තත්ත්වයක් රට තුළ ඇතිවෙමින් තිබුණි. ඒ අතර ජනාධිපති විජේතුංග මහතා නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසිරවීමට තීරණය කිරීම රටේ දේශපාලන වෙනස ඉක්මන් කරන සාධකයක් බවට පත්ව තිබුණි. 1994 අගෝස්තු 16 වැනි දින පැවැති මහ මැතිවරණය පාලක එජාපය සහ විපක්ෂය අතර කරට කර සටනක් වූ අතර පොදු පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය සහ කඳුරට පෙරමුණ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටවූ අතර එහි අගමැතිනිය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.
ඒ වන විට රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කොටස සඳහා තෝරාගත් ඩී. බී. විජේතුංග මහතා තුන්වැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ දිනය ලෙස 1994 ඔක්තෝබර් 07 වැනි දින නියම කරන ලද අතර ජනාධිපතිවරණය නොවැම්බර් දෙවන සතියට දින වෙන්කර තිබුණි. ඒ අනුව පහත අපේක්ෂකයෝ නාමයෝජනා භාරදෙනු ලැබූහ.
1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - පොදුජන එක්සත් පෙරමුණ
2. ගාමිණි දිසානායක - එක්සත් ජාතික පක්ෂය
3. නිහාල් ගලප්පත්ති - ජනතා විමුක්ති පෙරමුණ( ශ්‍රීලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් තරග කළේය)
4. හරිස්චන්ද්‍ර විජේතුංග - සිංහලේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය
5. ඒ.ජේ. රණසිංහ - ස්වාධීන1
6. හඩ්සන් සමරසිංහ - ස්වාධීන 2
ශ්‍රී ලංකාවේ එකොළොස් වන අගමැතිවරිය ලෙස පත්වී දෙමසක් ඇතුළත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ජනාධිපති ධුරයට තරග කිරීමට සිදුවිය.
ජනාධිපතිවරණ දේශපාලන උණුසුම ටිකෙන් ටික වැඩි වෙද්දී 1994 ඔක්තෝබර් 24 වැනි දින කොළඹ තොටළඟ එජාපක්ෂ රැස්වීමට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක් මරණයට පත්වූ අතර ජනාධිපති තෝරා ගැනීමේ පනත අනුව අනුප්‍රාප්තික අපේක්ෂක ලෙස එජාපක්ෂය විසින් ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය තෝරා ගන්නා ලදී.
1994 නොවැම්බර් 09 වැනි දින ජනාධිපතිවරණය පැවැත්විණි. 1977 මහ මැතිවරණයේ සිට පසුබා සිටි ශ්‍රීලනි පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සහාය ලබා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තුන්වැනි ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයන් ලබමින් මෙතෙක් ජනාධිපතිවරයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය එනම් 62.28%ක් ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළාය. යුද ජයග්‍රහණයෙන් පසු පැවැති ජනාධිපතිවරණයේදී පවා මහින්ද රාජපක්ෂ වැනි ප්‍රබල අපේක්ෂකයකුට සියයට හැට දෙකේ වාර්තාව බිඳ දැමීමට නොහැකි වීම තුළ එදා චන්ද්‍රිකා මහත්මිය ලැබූ ජයග්‍රහණයේ ප්‍රබලත්වය පැහැදිලිය.
මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙතෙක් කිසිදු ජනාධිපති අපේක්ෂකයකු පසුගිය ජනාධිපතිවරණ අටේදී ලබා නොගත් ආකාරයට දිස්ත්‍රික්ක 22 ම පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂිකාව ජයග්‍රහණය කිරීමය. ලංකා මැතිවරණ ඉතිහාසයේ එකම දේශපාලන පක්ෂයක් උතුරු - නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 22ම ජයග්‍රහණය කර නොමැත.
සෑම මැතිවරණයකදී ප්‍රධාන ධාරාවෙන් බැහැර ලෙස ප්‍රතිඵල ලැබෙන යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කත්, එජාපක්ෂයට බහුතර බලය සහිත මහනුවර, නුවරඑළිය කොළඹ, පුත්තලම වැනි දිස්ත්‍රික්කත් සම්පූර්ණයෙන් ජය ගැන්මට චන්ද්‍රිකා මැතිනියට හැකිවිය. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මැතිවරණ කොට්ඨාස 160න් මහියංගණය ආසනය හැර සියලු ආසන ජය ගැන්මට චන්ද්‍රිකා මහත්මියට හැකිවීමයි. මහියංගණය ආසනය එජාපයේ වජිරා ශ්‍රීමනී දිසානායක ඡන්ද 24,842 ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබා තිබුණේ ඡන්ද 18,218කි. ඒ අනුව වැඩි ඡන්ද 6624කින් එම අසුන පරාජය විය. මෙසේ එක් ආසනයක් හැර සියලු ආසන ජයග්‍රහණය කිරීමද වාර්තාවකි. එජාපයේ ප්‍රබල බළකොටුවක් වන කොළඹ ආසන පහම එම මැතිවරණයේදී එජාපයට අහිමි වීම දේශපාලන විචාරකයන්ගේ මවිතයට හේතුවක් විය.
උදිත ගුණවර්ධන
නව අදහස දක්වන්න