හිටපු නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

හිටපු නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ජ්‍යේෂ්ඨ සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මුත්තු සිවලිංගම් මහතා ඊයේ (23) අභාවප්‍රාප්ත වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මධ්‍යම පළාත් මන්ත්‍රී කනපති කනගරාජ් මහතා පැවසීය.

සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ දීර්ඝ කාලයක් සභාපති ධුරය දරා එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව මියයන තෙක් එම පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් ද කටයුතු කර ඇත. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට පිවිසි ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරා තිබේ. 1943 ජූලි මස 20 වැනි දින උපත ලැබූ ඒ මහතා මියයන විට 79 වැනි වියේ පසු විය. හෙතෙම අධික රුධිර පීඩනය හා දියවැඩියා රෝගයෙන් දිගු කලක් පීඩා විඳිමින් සිටියදී මෙසේ මියගිය බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරු 3:00ට නුවරඑළිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

හැටන් - රංජිත් රාජපක්ෂ

නව අදහස දක්වන්න