මාවනැල්ල පොලිසියේදී කොස්තාපල්වරියට හදි කළ සෙබළා දැලේ | දිනමිණ

මාවනැල්ල පොලිසියේදී කොස්තාපල්වරියට හදි කළ සෙබළා දැලේ

මාවනැල්ල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදී අසභ්‍ය වචනවලින් බැණ වැදී ලිංගික අතවර කළේ යැයි කියන යුද හමුදා සෙබළෙකුව මාවනැල්ල පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබේ. ගජබා රෙජිමේන්තුවේ රත්මලාන කඳවුරේ සේවයේ නිරතව සිටින සෙබළෙක් වන සැකකරු උස්සාපිටිය, තම්මිට පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි. විසිහත් හැවිරිදි මෙම සැකකාර හමුදා සෙබළා තවත් පුද්ගලයෙක් සමඟ පොලිස් ස්ථානයට ඇතුළු වීමේදී ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරිය ඔහුගෙන් පැමිණි කාරණය විමසා ඇති බවත් එහිදී ඔහු කිසිවක් නොකියා පොලිස් ස්ථානය තුළට ඇතුළු වී ඇති බවත් පොලිසිය කියයි.

අනතුරුව ඔහු නැවත පොලිස් නිලධාරිනිය සේවයේ නිරතව සිටි ප්‍රධාන දොරටුවේ මුරකුටිය අසලට පැමිණ ඇයට අසභ්‍ය වචනවලින් බැණ වැදී ඇති බවත් ඒ අතර ඇයට ලිංගික අතවරයක් ද කිරීමට උත්සාහකර ඇති බවත් පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් එම නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකපිට සෙබළාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. මාවනැල්ල අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න