මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනයට CMTA සැසියක් පවත්වයි | දිනමිණ

මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනයට CMTA සැසියක් පවත්වයි

ගෝලීය රථ වාහන නිෂ්පාදකයන්ගේ මෙරට බලයලත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පැවැත්විය. මේ අවස්ථාවට අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ සහභාගි වූහ. මේ උත්සව අවස්ථාවේ ආරාධිත කථිකයා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතායි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව, ඉන්දියාව සමඟ එක්ව මෙරට දේශීය මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සහ ඉන්දියානු වාහන උපාංග ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට ඇති ශක්‍යතාව ආදි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැමිණ සිටි පිරිස ඇමතීය.

මෙහිදී සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA) සභාපති චාරක පෙරේරා මහතා පැවසුවේ, ඔහු වෙනත් රටවල් හා සසඳන විට රථ වාහන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම, පාරිභෝගිකයා හා පරිසරය ආරක්ෂා කිරීම මෙන්ම ආනයන බදු හා ආයතනික බදු මඟින් රජයේ ආදායම ප්‍රශස්ථ කිරීම සඳහා මෙරට මෝටර් රථ කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳය.

තවද දේශීය මෝටර් රථ කර්මාන්තයේ පාර්ශ්වකරුවන් රැසකගේ නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර, මේ සැසියේ අරමුණ වූයේ සමස්ත මෝටර් රථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ක්‍රමවේද සැකසීම සඳහා එම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හා ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමයි.

 

නව අදහස දක්වන්න