වෛද්‍යවරුන් 4කගේ වැටුප් වංචා කළ කළමනාකාර සහකාරවරයා වසර දහයක් හිරේට | දිනමිණ

වෛද්‍යවරුන් 4කගේ වැටුප් වංචා කළ කළමනාකාර සහකාරවරයා වසර දහයක් හිරේට

 

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිවුදෙනකුගේ වැටුප් වංචා කළ කළමනාකාර සහකාරවරයාට වසර දහයක සිරදඬුවමක් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩයක් කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (05) නියම කළේය.

විත්තිකරුට එල්ල වූ අදාළ චෝදනාවන්ට වරද පිළිගන්නා බවට නඩු විභාගය අතරතුරදී ප්‍රකාශ කිරීම හේතුවෙන් බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩයක් ද නියම කළේය. එක්කෝටි හැටහය දහස් හත්සිය හැත්තෑවයි සත 45ක් දඩයක් ලෙස නියම කෙරිණි. එම දඩය ගෙවීමට තමන්ට නොහැකි බව විත්තිකරු ප්‍රකාශ කළේය.

දඩය නොගෙවන්නේ නම් වසර හතරක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් හිමිවිය යුතු බව බව ද විනිසුරුවරයා දන්වා සිටියේය.

එන්. ක්‍රිශාන්ත ප්‍රනාන්දු නැමැති විත්තිකරුවෝ 2003 වසරේදී මෙම වංචාව සිදුකර ඇති අතර නීතිපතිවරයා විසින් 2006 වසරේදී අධි චෝදනා ගොනු කර ඇත. 2010 වසරේ සිට නඩුව විභාග කර ඇති අතර ඊයේ දිනයේදී ද දාසය වැනි සාක්ෂිකරුගේ සාක්ෂි කැඳවීමට නියමිතව තිබිණි.

කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කර ඇති සිය සේවාදායකයා පමණක් නොව තවත් පිරිස් මෙම වංචාවට සම්බන්ධ වී ඇති බව විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න