විදෙස් ආයෝජනවලට දොරටු විවර කළ අය වැයක් | දිනමිණ

විදෙස් ආයෝජනවලට දොරටු විවර කළ අය වැයක්

මහාචාර්ය රොහාන් සමරජීව

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලිය සම්බන්ධයෙන් තවමත් විවිධ විවේචන ඉදිරිපත් වෙමින් පවතී. මෙහි ඇති ඇතැම් යෝජනා සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් විය යුතු බව ඇතැම් පාර්ශ්ව සඳහන් කරද්දී තවත් පාර්ශ්වයක් මෙය මෑත කාලයේ ඉදිරිපත්වූ සුවිශේෂී අය වැය බවට මත පළ කරයි. කෙසේ වෙතත් අප ‍තවමත් මේ ගත කරන්නේ මේ අය වැය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ කාරණා සාකච්ඡා වන අවධියකි. මේ ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් දරන ලද මතයයි.

 2022 වසර සඳහා ඉදිරිපත් වූ මෙවර අය වැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඔබ දරන මතය මොකක්ද?

මෙවර අය වැය ඉදිරිපත් වෙන්නෙ අර්බුද කියන සන්ධර්භය ඇතුළෙයි. ඒ සන්ධර්භය ඇතුළෙ ඉදිරිපත් වූ අය වැයක් ප්‍රමුඛතාව දිය යුත්තේ ආර්ථිකය පණ ගැන්වීම සම්බන්ධයෙනුයි. එහිදී රටට යළි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇති කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය දිය යුතු වෙනවා. IMFගිවිසුම ආදිය ඊට අදාළයි. එහිදී අපට තේරෙන විදියට නම් මේ අය වැයෙන් ඊට යම් දායකත්වයක් ලැබී තිබෙනවා. ඒක සුබදායක තත්ත්වයක් විදියට පෙන්වා දිය හැකියි. නමුත් වියදම් කළමනාකරණය පැත්තෙන් ගත්තොත් තවමත් යම් යම් අඩුපාඩු තිබෙන බව අය වැය යෝජනාවලිය අධ්‍යයනයේදී පෙනී යනවා.

ඔබ දකින ඒ අඩුපාඩු මොනවාද?

රට මේ අවස්ථාවේ තිබෙන්නේ කුමන තත්ත්වයක ද කියන දේ සම්බන්ධයෙන් දැන් කවුරුත් දන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ තවමත් අධිවේගී මාර්ගවලට මුදල් වෙන් කිරීම සුදුසු දෙයක් හැටියට මා දකින්නේ නෑ. ඒ වගේම නව වෛද්‍ය පීඨයක් ආරම්භයට මෙයින් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි දේවල් ටිකක් කල්පනාකාරීව කළ යුතුයි. මොකද මේ වෙලාවෙ රට ගොඩගන්න තියෙන්නෙ වෙනම සටනක්. එවැනි මොහොතක මේ දේවලට අවධානය යොමු කිරීම සුදුසු නෑ.

ඊට විසඳුම හැටියට ඔබ දකින්නේ මොකක්ද?

මේකට විසඳුම අමුතුවෙන් ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ නෑ. අය වැය යෝජනාවලිය ඇතුළෙම තියෙනවා මින් පසු ක්‍රියාත්මක වෙන සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හරහා යමින් නියම ශක්‍යතා වාර්තා ඉදිරිපත් කරමින්, ජාතික සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබා ගනිමින් කළ යුතුයි. එතකොට මේ අය වැයේ ඇති අලුත් ප්‍රාග්ධන ආයෝජනයන් සහිත යෝජනා ඒ ඒ ක්‍රමවේදයන් තුළින් අනුමත කරමින් කරන්න, අය වැයේ තිබුණු පළියටම කරන්න යන්න එපා කියලයි මම යෝජනා කරන්නේ. මොකද අපි වියදම් කළමනාකරණය කර ගත්තේ නැතිනම්, මේක හදිසි තත්ත්වයක් බව තේරුම් නොගත්තොත් අපට ඉදිරිය කිසිසේත්ම ලේසි වෙන්නේ නෑ. ඒ වගේම ප්‍රාථමික ශේෂය අතිරික්තයක් බවට පත් කර ගැනීම පැත්තෙන් ඒක හොඳ කලදසාවක් වෙන්නෙත් නෑ.

ඔබ හිතන විදියට මේ යෝජනාවලිය තුළ සංශෝධනය විය යුතු දේ මොනවද?

මම කලින් කිව්වා වගේ මේකෙන් මිලියන 200ක් වෙන් කර තියෙනවා ඌව වෙල්ලස්සෙ වෛද්‍ය පීඨයක් පිහිටුවන්න. අපි කවුරුත් දන්නවා එක අවුරුද්දකින් මිලියන 200ක් වෙන් කරලා ඒසා විශාල ව්‍යාපෘතියක් අවසන් කරන්න බෑ කියලා. අවුරුදු ගාණක්ම ඒකට ආයෝජනය කරන්න වෙනවා. එතකොට ඒක මේ පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවක් දිය යුතු දෙයක් ද කියලා දෙවරක් සිතිය යුතුයි. මම පැත්තක ඉඳන් කියන‍ දේ නෙවෙයි, මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය මෙවැනි සුදු අලි ව්‍යාපෘතිවලට මේ අය වැයේ ඉඩ වෙන්න කිරීම කියනදේ ප්‍රශ්න කර තිබෙනවා.

මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?

අය වැයේ තියෙන රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ මේ යෝජනාව කොටස් තුනකින් බැලිය හැකියි. අය වැයට කලින් ඉදිරිපත් වුණු අතුරු අ‍ය වැයේ යෝජනාවක් තිබුණා බැංකුවල සියයට 20ක පෞද්ගලික ආයෝජන ශක්තිමක් කිරීම ගැන. ඒ සම්බන්ධයෙන් මෙහි සඳහනක් නෑ. ඒ වගේම අප දන්නවා මේ වන විට හෙමින් සැරේ ක්‍රියාත්මක වෙනවා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ඇතුළු බලශක්තියට සම්බන්ධ දේ පිළිබඳ ප්‍රතිව්‍යුහගතකරණයක්. ඒ ගැනත් මෙහි විශේෂ සඳහනක් නෑ. අපි දන්නෙ ඒ කටයුතු කෙරීගෙන යනවා කියලා විතරයි. ඊට අමතරව මේ අය වැයේ ආයතන 5ක් ගැන සඳහන් වෙනවා. මේ අයතන පහෙන් පැහැදිලිවම එකක් අධික වශයෙන් පාඩු ලබන ආයතනයක්. ඒ තමයි ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගම. අනෙක් ආයතනවලින් සමහරක් ලාභ ලබන ආයතන වශයෙන් ඇතැමුන් හඳුන්වනවා. නමුත් මම නම් ඒ අායතන හඳුන්වා දෙන්නේ නිසි කාර්යක්ෂමතාවයක් නැති, ලබා ගත හැකි නමුත් ලාභ ලබා නොගන්නා, දේශපාලන ඇඟිලිගැසීම්වලට යටත්ව පවත්වාගෙන යන ආයතන හැටියටයි. උදාහරණයක් තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. මේක රටේ අනෙක් රක්ෂණ සංස්ථා තමන්ගේ වත්කමට සාපේක්ෂව ලබා ගන්නා ලාභයට වඩා අඩු ලාභයක් තමයි ලබන්නේ. මෙය මීට වඩා ලාභ ඉපැයිය හැකි නමුත් ඒ දේ නොකරන ආයතනයක්. ඒක යටතේ පුදුමාකාර විදියට සුදු අලි ඉන්නවා. කොළඹ දෙවැනි සුදු අලි ගොඩනැඟිල්ල වන හයට් ගොඩනැඟිල්ලේ සියයට 75ක් සෘජුව සහ වක්‍රව අයිති රක්ෂණ සංස්ථාවට. අවුරුදු 10ක් තිස්සේ මුදල් ආයෝජනය කරත් සතයක ආදායමක් ලබා නැති ගොඩනැඟිල්ලක් ‍ඒක. එවැනි දේ නිසයි රක්ෂණ සංස්ථාවේ ලාභය නිසි පරිදි නොලැ‍බෙන්නේ. ඒ වගේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයක් වසර 5ක කාලයක් තුළ ඊට සමාන අනෙක් අයතන සමඟ ගත්තොත් වත්කම්වලට සාපේක්ෂව ලාභ උපයා නැහැ. කොටස් වෙ‍ළෙඳපොළේ වටිනාකමට අනුව ඊට අනුරූප පෞද්ගලික අංශයේ ආයතන ලබන ලාභයට වඩා ටෙලිකොම් ඉන්නේ ඉතා පහළ තැනක. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 54ක් පමණ සෘජුව හෝ වක්‍රව රජයට අයිතියි. ඒ සියයට 54න් සියයට 44ක් වත් වඩා ලාභ උපයන, වඩා කාර්යක්ෂම ආයතනයක් බවට පත් කර ගත්තොත් දැනට වඩා ලාභාංශ ටෙලිකොම් ආයතනයෙන් ලැබිය හැකියි. අනෙක් නම් කළ ආයතනත් එහෙමයි, පෞද්ගලික රෝහල්, හෝටල් මොකටද රජය යටතේ තියෙන්නේ? ඒවා දීලා කීයක් හරි ගන්න එක තමයි මේ වෙ‍ලාවෙ හොඳ. මේ කරුණ සම්බන්ධයෙන් මම නම් දකින්නෙ නිකන් පාඩු ලබ ලබා තියාගන්නවාට වඩා ඔය ක්‍රමවේදයට යනවා නම් හොඳයි.

මේ අය වැය ඉදිරිපත් වෙන්නෙ වෙනත් වසරවලට සාපේක්ෂව රට ඉතා බංකොලොත් තත්ත්වයක තිබියදීයි. මෙවැනි තත්ත්වයකදී මේ යෝජනා ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමේ ප්‍රායෝගික තත්ත්වය කොහොමද?

මේ අය වැයේ විතරක් නෙවෙයි හැම අය වැයේම තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි කිසිඳු අය වැයක පසු විපරමක් ඇතුළත් නොවීම. අපි ගිය අවුරුද්දේ මේ ආදායම් ලබනවා කිව්වා, ලැබුව ද? මේ දේවල් අරඹනවා කිව්වා, ඇරඹුවා ද? මේ යෝජනා ගෙනාවා, ඒවා ක්‍රියාත්මක වුණා ද කියලා සඳහන් නොවීම ‍ලොකු අඩුපාඩුවක්. එවැනි නොකෙරුණු යෝජනා ඕනෑතරම් පෙන්වා දිය හැකියි. මේ අය වැය දිහා බැලුවමත් මෙහි අලුත් ප්‍රක්ෂේපණ ඇතුළත් වෙනවා අපි මේ තරම් ආයෝජන ලබා ගන්නවා කියලා. ඒ නිසා මේ අය වැය යෝජනාවලිය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමේදීත් ඒ දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. මගේ අදහස නම් මේ අය වැය වඩාත් අර්බුදයට මුහුණ දෙනවා. ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකුව සිටි පසුගිය මාර්තු මාසයේ කියනවා අපට අවශ්‍ය සංවර්ධන අය වැයක් නෙවෙයි, සහනදායී අය වැයක් කියලා. මෙහි සහන ගැනත් සඳහන්. ඒවාට දෙන ප්‍රතිපාදනත් වැඩි කර තියෙන බව මමත් පිළිගන්නවා. නමුත් අර සාම්ප්‍රදායික සංවර්ධන අය වැයේ ලක්ෂණ තවමත් ‍තියෙනවා. ඒ නිසා මීට වඩා නිහතමානීව සියයට සියයක් එක් දෙයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර හැදුවා නම් වඩා හොඳයි. එවිට ක්‍රියාත්මක තත්ත්වයේදීත් කලින් අවුරුදුවල අය වැයවලට වඩා ප්‍රයෝගික තත්ත්වයක් දැකිය හැකියි.

පෙර වසරවල අය වැය හා 2023 අය වැය සංසන්දනයක් කළොත්?

ලංකාවේ සම්ප්‍රදායක් තමයි දශක ගාණක සිටම ඉදිරිපත් වුණු අය වැය අසම්පූර්ණ ලියවිලි වීම. අප්‍රසන්න දේවල් හෙවත් ආණ්ඩුවට ආදායම් ලබා ගන්නා බදු වැඩි කිරීම් වැනි දේවල් කලින් ප්‍රකාශ කර තිබෙනවා. පසුවට කියනවා අරකට වියදම් කරනවා, මේකට වියදම් කරනවා, ප්‍රතිපත්ති වෙනස් කරනවා වගේ සුන්දර දේවල්. ඇත්ත වශයෙන්ම අය වැය කියැවිය යුත්තේ කලින් අතුරු අය වැයේ කියූ දේවල් එක්කයි. උදාහරණයක් තමයි වැට් බදු වැඩි කිරීම. මේක මේ අය වැයෙන් නොකෙරුවත් එහි ගණන් හැදීම තියෙන්නෙ මේ අය වැයේමයි. ඒ නිසා අප බැලිය යුත්තේ කලින් කියූ පරිදි මොනතරම් බදු එකතු කර ගත හැකිද කියායි. ඒ නිසා වැඩේ කාර්යක්ෂමව කර ගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙනුයි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ නිසා නිකන්ම ඉදිරිපත් කළාට වැඩක් නෑ, ක්‍රියාත්මක තත්ත්වය බැලිය යුතුයි. එහෙම නැතිනම් යෝජනා මොන තරම් වර්ධනීය තත්ත්වයක තිබුණත් කළින් අයවැයේ සහ මේකෙ වෙනසක් දකින්න බෑ. අප බලාපොරොත්තු වෙනවා රාජ්‍යයට සම්බන්ද සියලු දෙනා කැප වී මේ දේවල් කරයි කියලා. කෙසේ වෙතත් හරියටම පෙර සහ මෙවර වෙනස බැලිය හැකි වන්නේ තවත් මාස කිහිපයක් ගත වුණාට පසුවයි.

රටේ ආර්ථික පදනම ශක්තිමක් කරන්න තව මොනවගේ දේවල් ද කළ යුත්තේ?

මූලික වශයෙන්ම ගිය අවුරුද්දේ සිට කඩා වැටෙන්න ඉඩ දුන් මේ ආර්ථිකය කියන යන්ත්‍රය ප්‍රතිසංස්කරණය කර පණ ගැන්විය යුතුයි. ඒ සඳහා මුදල් අච්චු ගැසීම් වැනි දේ කළ නිසා ඒ කාලයේ සිට රටේ උද්ධමනය ශීඝ්‍රව ඉහළ ගියා. මේ තත්ත්වය යටතේ දැන් කරන්නේ මේ තත්ත්වය වළක්වමින් ආර්ථිකය බලෙන් හකුළුවීමයි. එය මැන ගත හැකි ක්‍රමයක් තමයි සියයට 40කින් ඉන්ධන භාවිතය අඩු වීම. ආර්ථිකය සංකෝචනය වෙලා ආර්ථික මැෂිම දැන් වැඩ කරන්නේ නෑ. කෘෂිකර්ම කටයුතු අඩාළයි, අපනයන ක්ෂේත්‍රය කඩා වැටිලා. ඉතිං මේ ආර්ථිකය යළි දුවන ආර්ථිකයක් බවට පත් කිරීම අත්‍යවශ්‍යයි. ඊට මූලික වෙන්නේ IMF ගිවිසුම හා ඒ සමඟ ලබා ගත හැකි ණය. අපේ බලාපොරොත්තුව වුණේ එය මේ වසරේ කරගත හැකි වේවි කියා. නමුත් එය අපහසුයි. ඇතැම් විට ලබන මාර්තු තෙක් එය කල් යාවි. එය නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. නමුත් අප පිරිමැස්මෙන් වැඩ කරගෙන යනවා, සංචාරකයොත් ටික ටික එනවා, අනෙක් පැත්තෙන් විදේශ විනිමය ලැබෙමින් පවතිනවා. මෙවැනි යහපත් දේ ගැන තවත් අවධානය යොමු කිරීමයි සුදුසු. ‍

විදෙස් ආයෝජන හා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අය වැයෙන් ලද අවධානය ප්‍රමාණවත්ද?

විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමට නම් බොහෝ දේ කළ යුතුයි. එතැනදි ආණ්ඩුව යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එකක් තමයි, අපනයන සංවර්ධන මණ්ඩලයේ EDB ආයතනය හා ආයෝජන මණ්ඩලය ආදිය ඒකාබද්ධ කර එකක් සෑදීම. අනෙක වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි. මේ යෝජනා දෙකම ඉතා හොඳයි. ක්ෂණික ප්‍රතිඵල නම් දැකිය හැක්කේ සංචාරක කර්මාන්තයෙනුයි. ඒ සඳහා ඔවුන්ට පහසුකම් සැපසිය යුතුයි. අනෙක ලෝක ආර්ථිකය පැත්තෙනුන් 2021ට වඩා ඉතා අසුබදායක තත්ත්වයක් තමයි ‍දැන් පේන්න තියෙන්නේ. ඒ නිසා බොහොම කල්පනාකාරීව මේ ගැන අවධානය යොමු නොකළොත් අපි තවත් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා.

මේ දේවල් එකක් ඩොලර් අර්බුදයට ළඟදීම විසඳුම් ලැබෙයිද?

ඩොලර් අර්බුදයට විසඳුම් ලැබෙන්න ඒ ඒ ආයෝජන ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටට ඩොලර් ගේන්න වගේම ඩොලර් ගෙනියන්නත් ඉඩ දෙන බවට විශ්වාසය ඇති කළ යුතුයි. නැතිනම් පිටරට ඉන්න මිනිස්සු පුළුවන් විදියට මේ රටට එන්න කලින් සල්ලි පිටරටවලම නවත්වා ගන්නවා. දරුවන්ට උගන්වන්න වගේ දේවලට සල්ලි යවන්න පුළුවන් කියන විශ්වාසය ඇති කළොත් ඩොලර් එයි. හැබැයි ඒ විශ්වාසය ඇති කරන්න නම් තරමක කාලයක් ගත වෙයි. නමුත් එය කළ යුතුයි.

බැංකුවල පොලී අනුපාත වැඩි කර මුදල් රඳවා ගැනීමට දරන උත්සාහය සාර්ථකද?

පොලී අනුපාතය වැඩි කළේ උද්ධමනය නිසා ඇති වූ හානිකර තත්ත්වය අඩු කර ආර්ථිකය සංකෝචනය කරන්නයි. ඒක මහ බැංකුවේ කටයුත්තක්. මහ බැංකු අධිපතිතුමා කියනවා උද්ධමනයේ අඩු වීමක් නැතත් උද්ධමනය වන වේගයේ අඩුවක් දැකිය හැකි බව. ඒ අනුව සාර්ව ආර්ථික කටයුතු ගැන අවධානය යොමු කරන අය විශ්වාස කරනවා උද්ධමනය අඩු වෙයි කියලා. එවිට නම් ඔය පොලී අනුපාතය අඩු වෙයි. නමුත් ලබන වසරේ මැද භාගයේදී වඩා සාධාරණ ගණනකට පොලී අනුපාතය පැමිණේවි කියා විශ්වාස කරනවා. ඒ අතරතුර කාලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයො විනාශ මුඛයට යෑම වළක්වන්න ආණ්ඩුව හැකි උපරිමය කළ යුතුයි.

සමස්තයක් වශයෙන් ගත් කල මෙවර අය වැය කොහොමද?

මම හිතන්නේ මේ අය වැය නරක නෑ. මේ යෝජනාවලිය මඟින් සාධනීය තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

චාමිකා මුණසිංහ

නව අදහස දක්වන්න