අපේ කිරි ගොවියාගේ හෙට දවස | දිනමිණ

අපේ කිරි ගොවියාගේ හෙට දවස

අසල්වැසි ඉන්දියාව ලෝකයේ හොඳම කිරි නිෂ්පාදකයා බව අපේ බොහෝ දෙනෙක් නොදනිති. ඉන්දියාව සිය කිරි නිෂ්පාදන යුරෝපයට අපනයනය කරන බව ද එයින් වාර්ෂිකව විශාල විදේශ විනිමයක් උපයන බව ද අපේ බොහෝ දෙනා නොදනිති. ගව පාලනය, කිරි නිෂ්පාදනය පමණක් නොව කිරි ගොවීන්ගේ සාමූහිකත්වය ගැන ද පාඩම් උගත යුතු හොඳම තැන ඉන්දියාව බව අප සිහියේ තබා ගත යුතුය. ඉන්දියානුවෝ ගවයාට මහත් ගෞරවයෙන් සලකති. එලෙසම ගවයාගෙන් උපරිම ප්‍රතිඵල ද නෙළා ගනිති. ඉන්දියාව එක ගව දෙනකගෙන් දිනකට ලබා ගන්නා කිරි ලීටර් ප්‍රමාණය තිහකට වැඩිය.

ඉන්දියාවේ කිරි නිෂ්පාදනය දැවැන්ත ව්‍යාපාරයකි. එය රට පුරා ව්‍යාප්තව පවතී. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය මෙන්ම සමුපකාර ක්‍රමය ද ඊට දායකත්වයක් සපයා තිබේ. වසරින් වසරට කිරි නිෂ්පාදනය ධාරිතාව අතින් ඉහළ යයි. ඊට අදාළ තාක්ෂණය ඉන්දියාව විසින්ම නිර්මාණය කරගෙන තිබේ. ඇතැම් ගව පට්ටිවල දිනකට තෙවරක් කිරි දොවනු ලැබේ. කිරි නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, නිෂ්පාදනයේ ප්‍රමිතිය තීරණය කිරීම ආදී වැදගත් සාධක රාජ්‍ය අංශය විසින් ඉටු කරනු ලැබේ. කිරි නිෂ්පාදනය සඳහා ඉලක්ක ලබා දී ඇති අතර, දිගුකාලීන ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

අප ඉන්දියාවේ කිරි නිෂ්පාදනය ගැන වැඩිමනත් කතා කරන්න තීරණය කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන අලුත් වැඩසටහනක් නිසාය. එම වැඩසටහනෙහි මුල් පියවර දැනටම ආරම්භ වී ඇත. ඉන්දියාවේ තාක්ෂණික සහයෝගය හා උපදේශනය මත ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය හා ගව පාලනය සංවර්ධනය කිරීම වැඩසටහනෙහි ඉලක්කය වෙයි. අපගේ දැනුමට අනුව මෙය ඉතා බුද්ධිමත් හා ප්‍රායෝගික පියවරකි. අප ගව පාලනය ගැන හෝ කිරි නිෂ්පාදනය ගැන හෝ උපදේශන ලබා ගත යුත්තේ ඔස්ට්‍රේලියාවෙන් නොව ඉන්දියාවෙන් බව වටහා ගත යුතුව තිබේ. දකුණු ආසියාවේ දේශගුණය, පරිසරය හා සත්ත්ව පාලනය ගැන හොඳ වැටහීමක් ඉන්දීය විශේෂඥයන්ට තිබේ.

අපේ ගව පාලනය හා කිරි නිෂ්පාදනය සාර්ථක මට්ටමකට ගෙන ඒම සඳහා එක වරක් නවසීලන්තයෙන් උපදේශන හා ආදර්ශ ලබා ගත්තේය. එහෙත් වැඩසටහන සාර්ථක වූයේ නැත. ඊළඟට අපේ ගව පාලනය හා කිරි නිෂ්පාදනය සාර්ථක කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් උපදේශන හා ආදර්ශ ලබා ගත්තේය. එරටින් ගව දෙනුන් ගෙන්වීමට ද පියවර ගත්තේය. වැඩසටහන සාර්ථක වූයේ නැත. රටින් ගෙන් වූ ගව දෙනුන් විවිධ රෝගවලට මුහුණ දී අකාලයේ මිය ගිය බව අප දන්නා කරුණකි. අසල්වැසි ඉන්දියාවේ අමූල් ව්‍යාපාරයෙන් අපේ කිරි නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා උපදේශන හා සහයෝගය ලබා ගත යුතු යැයි මත පළ වුව ද ඒවා සාර්ථක වූයේ නැත. එම වැඩසටහන් අවබෝධයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට කණ්ඩායමක් සිටියේ නැත.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එම කමිටුව හා ඉන්දීය විශේෂඥයන්ගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එම සාකච්ඡාවට ඉන්දීය පශු සම්පත් මණ්ඩලයේ ඉහළ නිලධාරින් මෙන්ම අමූල් ව්‍යාපාරයේ ඉහළ නිලධාරින් ද සහභාගි වී ඇත. අදාළ සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් වූ බව ද වාර්තා වී තිබේ. නිසැක ලෙසම මෙය අපේ ගව පාලනයේ සේම කිරි නිෂ්පාදනයේ ඉදිරි පියවරක් ලෙස සටහන් කර තැබිය යුතුය. දේශීය කිරි අවශ්‍යතාවට පමණක් නොව, අපනයනය සඳහා ද කිරි නිෂ්පාදනය ඉහළ නංවා ගත හැකිය. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවලට ලෝකයේ ඉහළ නමක් ද ලබා ගත හැකිය.

අපේ ගව පාලනය ගැන මෙන්ම කිරි ගොවීන් ගැන ද විශාල උනන්දුවක් රට තුළ නැත. දැනට සිදු වන්නේ කිරි ගොවීන් තමන්ගේ පාඩුවේ කිරි නිෂ්පාදනය කරගෙන යාමය. ඔවුන්ට ඉලක්ක දී නැත. නිසි තාක්ෂණික උපදේශන ලැබෙන්නේ ද නැත. කිරි ගොවියකු එක දෙනකගෙන් දිනකට ලබා ගන්නා කිරි ලීටර් ප්‍රමාණය හයකට වැඩි නොවේ. එය ඉතා දුර්වල අස්වැන්නකි. ගවයන් සඳහා අවශ්‍ය ආහාර, පෝෂණය හා ඖෂධ ලබා ගැනීම ද අවුල්සහගතය. මේ සියල්ලට ප්‍රධාන හේතුව ගව පාලනය හා කිරි නිෂ්පාදනය සඳහා විධිමත් හා ශක්තිමත් වැඩසටහනක් නොතිබීමය. ජනාධිපතිවරයා වෑයම් කරන්නේ එබඳු වැඩසටහනක් ඇති කිරීමටය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ කේරළයේ, උත්තර ප්‍රදේශයේ හා තමිල්නාඩුවේ කිරි නිෂ්පාදනය හා ඊට අදාළ කිරි ගොවීන්ගේ සංස්කෘතිය දෙස බලන විට අපූරු චමත්කාරයක් මතු වෙයි. එම කිරි ගොවීහු උදෑසනින් ගව පට්ටියට යති. කිරි දොවාගෙන සිය වාහනවලින් කිරි එකතු කරන මධ්‍යස්ථාන කරා යති. ඔවුන්ගේ ආදායම් සරුය. කිරි ගොවීන්ගේ සමුපකාර සමිති මඟින් ඉතිරි කිරීම් උගන්වනු ලැබේ. ඉන්දියාවේ කිරි ගොවියාගේ ජීවිතය ශක්තිමත්ය. ඔවුන්ට පෙළපාළි යන්නට හේතුවක් නැත. විරෝධතා දැක්වීමට කාලයක් ද නැත. අපේ කිරි ගොවියාට මෙබඳු තත්ත්වයක් උදා වන්නේ කවදාද?

නව අදහස දක්වන්න