ආසියාවේ බලාපොරොත්තු බිඳ දමා බ්‍රසීලය-ක්‍රොඒෂියාව අවසන් 8ට | දිනමිණ

ආසියාවේ බලාපොරොත්තු බිඳ දමා බ්‍රසීලය-ක්‍රොඒෂියාව අවසන් 8ට

සිය 6 වැනි පාපන්දු ලෝක කුසලානය හඹා යන බ්‍රසීලය සුපිරි 16 වටයේ දකුණු කොරියාව සමඟ පැවැති තරගයේදී ගෝල 4-1ක ජයක් වාර්තා කරමින් තවත් පියවරක් ඉදිරියට තැබුවේය. බ්‍රසීලය රැස් කළ ගෝල 4ම වාර්තා වූයේ තරගයේ පළමු භාගයේදීය. මේ ජයග්‍රහණයත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි බ්‍රසීලය එහිදී තරග වැදීමට නියමිතව ඇත්තේ වත්මන් අනුශූරයන් වන ක්‍රොඒෂියාව සමඟිනි.

තරගයේ 7 වැනි මිනිත්තුවේදී විනිසියස් ජූනියර් එල්ල කළ ගෝලයෙන් පෙරමුණ ගත් බ්‍රසීලයට 13 වැනි මිනිත්තුවේදී ලැබූ දඬුවම් පහර සුපිරි ක්‍රීඩක නේමර් විසින් සාර්ථක කරගනු ලැබීමෙන් ගෝල 2-0කින් පෙරමුණ ගත්තේය. අනතුරුව 29 වැනි මිනිත්තුවේදී රිචර්ලිසන් සහ 36 වැනි මිනිත්තුවේදී ලූකාස් පැකේටා ගෝල රැස් කරමින් බ්‍රසීලය ඔසවා තැබුවේය. දකුණු කොරියාවට රැස් කිරීමට හැකි වූයේ එක් ගෝලයක් පමණි. 76 වැනි මිනිත්තුවේදී වාර්තා වූ එම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ පයික් සෙයුං හෝ විසිනි.

ක්‍රොඒෂියාවට අසීරු ජයක්

ලෝක පාපන්දු කුසලානයේ වත්මන් අනුශූරයන් වන ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල 1-1කින් තරගය සම කිරීමට ජපානය සමත්වීම හේතුවෙන් පසු දඬුවම් පහරින් ජයග්‍රාහකයා තීරණය කිරීමේදී ගෝල 3-1ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව සමත් විය.

ක්‍රොඒෂියාවේ දැල් රකින ක්‍රීඩක ඩොමිනික් ලිවකොවික් ජපාන ක්‍රීඩකයන් එල්ල කළ දඬුවම් පහර අවස්ථා 3ක්ම ඉවතට තල්ලු කිරීමට සමත් වූයේ සිය කණ්ඩායමේ බලාපොරොත්තු දල්වා තබමිනි.

මේ තරග දෙක සමඟින් අවසන් 16ට එක්ව සිටි ආසියාවේ කණ්ඩායම් දෙක වන ජපානය සහ දකුණු කොරියාවේ ලෝක කුසලාන ගමන නිමා විය.

 

නව අදහස දක්වන්න