ගොවීන්ට මඩ පොහොර නොමිලේ දීමට වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා - ඇමැති මහින්ද අමරවීර | දිනමිණ

ගොවීන්ට මඩ පොහොර නොමිලේ දීමට වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා - ඇමැති මහින්ද අමරවීර

ලබන කන්නයේ වගාව සඳහා ගොවීන්ට මඩ පොහොර නොමිලයේ ලබා දීමට වැඩපිළිවෙළ සකස් කර ඇති බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය.

අය-වැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැති මහින්ද අමරවීර මහතා තවදුරටත් මෙසේද පැවසීය.

කාබනික වගාව කෙරෙහි යොමු වන ගොවීන්ට රුපියල් 20,000 ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරනවා. එය නැවත ගොවියාගෙන් අය කර ගැනීමක් සිදු කරන්නේ නැහැ.

ආණ්ඩුවෙත් විරුද්ධ පක්ෂයේත් දෙකේම අපි ඉඳලා තිබෙනවා. ජනතාවට වැඩ කිරීම සඳහා අපි පියවර ගන්නවා. පසුගිය කාලයේ ගොවීන් ගොවි බිමෙන් ඈත් වෙලා සිටියා. ඒ නිසා හාල් හිඟය ඇතුළු වගා භෝග හිඟයක් තිබුණා. යල කන්නයේ හෙක්ටයාර 248,000 යි වගා කර තිබුණේ. එය වැඩි කර ගැනීම සඳහා ගොවීන් උනන්දු කරන්න අපි කටයුතු කළා. ආහාර හිඟයක් එන බවට ජාත්‍යන්තරයෙන් පවා අපට දැනුම් දී තිබුණා. යල කන්නයේ ගොඩ ගත නොහැකි නිසා මහ කන්නයට පොහොර දෙමු කියලා නිලධාරීන් පැවසුවා. නමුත් මම ප්‍රකාශ කළේ යල කන්නයේම උත්සාහයක් ගමු කියලා. පොහොර නැවක් ගෙන්වා ගොවීන්ට පොහොර දීම නිසා යල කන්නයේ වගා කළ හෙක්ටයාර 248,000ක ගොවි බිම් සංඛ්‍යාව හෙක්ටයාර 512,000ක් දක්වා වැඩි වුණා. වසර 10කට පසුව වැඩිම යල කන්නයේ වගාව පසුගිය යල කන්නය. රුපියල් මිලියන 56,000කට වැඩි මුදලක් වගාවට වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවත් සමඟ සිටින කෙනෙක් මම. මම කුඹුරු කරන කෙනෙක්. ඒ නිසා මා වෙත බොරු කරන්න බැහැ. නියම ගොවියා කවුද කියලා මම දන්නවා. ගොවියන් ඉල්ලුවේ යූරියා. නියමිත වේලාවට මෙවර හැම ගබඩාවකටම යැව්වා. ඊයේ බණ්ඩි පොහොර නැව ආවා. අද යූරියා නැව එනවා. මේ විදියට පොහොර නැව් හතරක් එනවා. ගොවි බිමේ අද වන විට ගොවියන් සිටිනවා. පොහොර ලබා දීම සිදු කරනවා. කොතැන හරි ස්ථානයකට පොහොර අඩුවෙන් ලැබෙන්නේ නම් එය නිලධාරීන්ගේ ගැටලුවක්. බණ්ඩි පොහොර දැන් බෙදනවා. බර අඩු බව පවසා පොහොර හොණ්ඩර 14000ක් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම සිදු කළා. මඩ පොහොර ගැටලුවක් තිබෙනවා. ඒවා ගෙන ඒමට අපි උත්සාහ දැරුවා. යුක්‍රේනයේ යුද්ධය නිසා මඩ පොහොර ඒ රටවලින් ගත නොහැකියි. රුපියල් 42000කට යූරියා ලබා දීම පසුගිය කාලයේ සිදු කළා. දැන් රුපියල් 15,000ට පොහොර විකුණනවා. පොහොර ප්‍රශ්නයට දැන් විසඳුම් ලබා දී අවසන්.

නව අදහස දක්වන්න