අපනයනකරුවන්ගේ විදෙස් ගිණුම්වල සඟවා ඇති ඩොලර් මෙරටට ගේන්න අලුතින් නීති | දිනමිණ

අපනයනකරුවන්ගේ විදෙස් ගිණුම්වල සඟවා ඇති ඩොලර් මෙරටට ගේන්න අලුතින් නීති

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

- මහ බැංකුවත් වගකිව යුතුයි
- ඉකුත් වසර 12ට ඩොලර් බිලියන 53ක් පිටරට සඟවලා

ශ්‍රී ලංකා රජය මෙරට අපනයනකරුවන්ගේ විදේශවල ගිණුම්වල ඇති බිලියන ගණනක් වටිනා ඩොලර් මෙරටට ගෙන්වා ගැනීමට අලුතින් නීති ගෙන එන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දිනමිණට පැවසීය.

අපනයනකරුවන් ඔවුන් උපයන මුදල්වලින් ලංකාවට ගෙන එන්නේ සීමිත මුදල් ප්‍රමාණයක් බවත් ඉතිරි මුදල් ඔවුන්ගේ ගිණුම්වලම ඇති බවටත් දැන ගැනීමට ඇතැයිද මෙරටට එම මුදල් ගෙන ඒමට හැකි වුවහොත් විදේශ සංචිත අර්බුදය ශ්‍රී ලංකාවට ඇති වන්නේ නැති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පසුගිය වසර 12ක කාලයක් තුළදී පිටරටවලින් ලංකාවට ලැබිය යුතු ඩොලර් බිලියන 53ක මුදලක් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් පිටරටවල සඟවා තබාගෙන ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (05) ප්‍රකාශ කළේය.

මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52ක් බවත් ඩොලර් බිලියන 53ක මුදල මෙරටට ලැබුණේ නම් එය රටේ සංවර්ධනයට විශාල පිටිවහලක් වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

අය-වැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මේ මුදල් නොලැබීම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිවයුතු බවත් මහ බැංකුවේ පරිපාලන දුර්වලකම් නිසා මෙවැනි අකටයුත්තක් රටට සිදුව ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ප්‍රධාන අපනයනකරුවන් 100කගෙන් වාර්තා මහ බැංකුව මේ වන විට කැඳවා තිබුණත් වාර්තා ලබාදී ඇත්තේ 57 දෙනකුගෙන් පමණක් බවත් ඔවුන්ගේ එම වාර්තා සම්පූර්ණ නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අපනයනකරුවන් සද්භාවයෙන් වැඩ නොකරන බව මෙමඟින් පැහැදිලි වන්නේ යැයිද ඇමැතිවරයා කීය.

නව අදහස දක්වන්න