ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශාඛා කඩිනමින් මෙරටට ගේන්න කමිටුවක් | දිනමිණ

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශාඛා කඩිනමින් මෙරටට ගේන්න කමිටුවක්

සිතාරා සේනානි

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට අයත් ශාඛා මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර කෙටි කාලසීමාවකින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට පෙරේදා (5) උපදෙස් දුන් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති සහ ප්‍රධාන කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උසස් අධ්‍යාපනයට වාර්ෂිකව සිසුන් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් විදේශගත වීම නිසා වසරකට දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් පිටතට ඇදී යන බවත් මේ වන විට විශාල විදේශ විනිමය ගැටලුවකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මේ තත්ත්වය දරාගත නොහැකි බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විදේශීය උසස් විශ්වවිද්‍යාලයන්හි ශාඛා මෙරට ස්ථාපනය කිරීමෙන් මෙරට සිසුන්ට අමතරව මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, ඉන්දුනීසියාව ආදි රටවල සිසුන් මෙරටට අධ්‍යාපනය සඳහා පැමිණියහොත් ඩොලර් ඉපැයුම් මාර්ගයක් ලෙසත් එය යොදාගත හැකි බවද ඇමැතිවරයා පැවසීය.

ලෝකයේ සෑම රටකම විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් ලෙස මේ අන්දමින් අධ්‍යාපනය යොදා ගන්නා බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න