දුම්රිය පෞද්ගලීකරණය කරන්නේ නෑ | දිනමිණ

දුම්රිය පෞද්ගලීකරණය කරන්නේ නෑ

සිතාරා සේනානි

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති හා ප්‍රධාන කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට රජය බලාපොරොත්තු වන්නේදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

විෂය භාර ඇමැතිවරයා වශයෙන්, පොදු ප්‍රවාහනයට අලාභයක් සිදු නොවන ලෙස දුම්රිය සේවාව පවත්වාගෙන යන්නේ කෙසේදැයි සොයා බැලීමට සියලු දුම්රිය ඉංජිනේරුවන්, දුම්රිය නියාමකවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් දෙපාර්තමේන්තුවක් වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී මතු වන අපහසුතා හේතුවෙන් බොහෝ ගැටලු නිර්මාණය වී තිබෙන නිසා දුම්රිය අධිකාරියක් බවට පත් කිරීමට මේ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මීට පෙර දෙපාර්තමේන්තුවක් ලෙස පැවති වරාය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සමයේ අධිකාරියක් බවට පත් කළ නිසා අද වන විට වරාය අධිකාරිය විශාල ලෙස ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙන බවද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාල පරිච්ඡේදයේ දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයකට බිලියන 10 බැගින් අලාභ ලැබූ බවද මෑතදී ඇති වූ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ඒ සඳහා වැය වන වියදමවත් සොයා ගැනීමට නොහැකිව දෙපාර්තමේන්තුව සෑම මසකම මිලියන 300ක විතර අලාභ ලබමින් සිටි බවද එහි මාසික ආදායම රුපියල් මිලියන 300, 400,500 වැනි ප්‍රමාණයක පැවති බවද පැවසීය.

මේ නිසා ඉන්ධන පිරිවැය ගැටලුව විසඳා ගැනීමට නම් ගාස්තු වැඩි කළ යුතු බවට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එය අනුමත වීමෙන් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දුම්රිය දෙපාර්තමේන්තුව මාසයකට රුපියල් බිලියනයකට වඩා වැඩි ආදායමක් මේ වන විට උපයමින් සිටින බවත් පැවසීය. එසේ වුවද සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 7ක් සහ අතිකාල සඳහා වැය වන රුපියල් බිලියන 2.6ක පමණ මුදල පියවා ගැනීමට තරම් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපදවන්නේ නැති බවද කීවේය. මේ නිසා බ්‍රිතාන්‍යයෙන් සකස් කර දී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කළමනාකරණ ක්‍රමවේද පාවිච්චි කරමින් වාසිදායක මාර්ග හරහා යළි සකස් කිරීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය. දුම්ර්ය මාර්ග පද්ධතිය කාර්යක්ෂම කර ගැනීමට ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතරම, පෞද්ගලික ආයෝජකයන්ට ආදායම් මාර්ග ලබා ගැනීමට වාණිජ ක්‍රමවේද පාවිච්චි කිරීමටද බලාපොරොත්තු වන බවද කීවේය. එවැනි යෝජනා ඕනෑ අයකුට ඉදිරිපත් කළ හැකි බවත් විනිවිදභාවයෙන් යුතුව එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න