බොරැල්ලේ පෞද්ගලික රෝහලේ වකුගඩු වික්කා දැයි සැකයක් | දිනමිණ

බොරැල්ලේ පෞද්ගලික රෝහලේ වකුගඩු වික්කා දැයි සැකයක්

CCDය විමර්ශන අරඹයි

විදේශිකයන්ට වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමක් බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහල තුළ සිදු වී තිබේදැයි සැකයක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව මේ රෝහල තුළ පසුගිය වසර කිහිපය තුළ සිදු කළ වකුගඩු බද්ධ කිරීම් ප්‍රමාණය සහ එසේ වකුගඩු බද්ධ කළ පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමටත් මේ රෝහලට ගොස් වකුගඩු දායකයන්ගේත් තොරතුරු ගැනීමටත් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට පියවර ගනිමින් ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට පෙරේදා (05) පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවකු වන කොළඹ 15 කජීමා වත්තේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන සිටින මොහොමඩ් බසීර් මොහොමඩ් රජබ්දීන් නොහොත් බායි නමැත්තාද මේ ජාවාරම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර තිබේ. මේ රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට එම තැරැව්කරු විසින් විශාල පිරිසක් සම්බන්ධ කර දී ඇති බවද ඔහු පවසා ඇත. එම පුද්ගලයන් හඳුනාගෙන ඒ අය විසින් පරිත්‍යාග කළ වකුගඩු බද්ධ කළ පුද්ගලයන් හඳුනා ගැනීමටද අපරාධ කොට්ඨාසය ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.

මේ වකුගඩු ජාවාරම හා සම්බන්ධව තැරුව්කරුවන් 6 දෙනකු පමණ සිටින බවට තොරතුරුද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හඳුනාගෙන තිබේ. ඒ අයගෙන් කිහිපදෙනකුව නම්, ගම් සහිතව අනාවරණය වී ඇති බව සඳහන්ය. බොරැල්ල පොලිසියට ගොස් මේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි කළ කාන්තාව ඇතුළු පුද්ගලයන් 05 දෙනා සඳුන් නමැති තැරැව්කරුවකු මඟින් වකුගඩු මුදලට පරිත්‍යාග කර ඇති තැනැත්තන් බවත් පොලිසියට පැමිණිලි ලැබෙන්නේ පොරොන්දු වූ පරිදි මුදල් නොදීමක් නිසා බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. වකුගඩු ලබා ගැනීමෙන් පසු පොරොන්දු වූ මුදල් නියමිත ලෙස ගෙවා දැමුවේ නම් මේ ජාවාරම ගැන කිසිවක් හෙළි නොවීමට තිබුණු බවත් එසේ මුදල් නොගෙවීම නිසා සඳුන් නමැති තැරැව්කරු විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට මේ ගැන තොරතුරු ලබාදී ඒ ඔස්සේ හෙළිදරව්වක්ද කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම තැරුව්කරු විසින් මේ රෝහලට සම්බන්ධ කර දී ඇත්තේ කොළඹ පදිංචි පිරිසක් බවත් එම 05 දෙනාගේම වකුගඩු ඉවත් කර ගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන්ව සම්බන්ධීකරණය කර ඇත්තේ බොරැල්ලේ පිහිටි අදාළ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විසිනි. එම පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වී ඇති බවත් ඉදිරියේදී එම පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට එරෙහිව පියවර ගන්නා බවත් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඊට අමතරව මේ රෝහලේ බලවන්තියක්ද මේ ජාවාරම පිටුපස සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. ඇය සම්බන්ධයෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන්ය.

වකුගඩු දායකයන් සොයා දීම වෙනුවෙන් තැරුව්කරුවන්ට රෝහලට සම්බන්ධ පාර්ශ්වයෙන් විශාල වශයෙන් මුදල් ලැබෙන බවද අනාවරණය වී ඇත. ඊට අමතරව වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන්ට ලැබෙන මුදල්වලින්ද කොටසක් තැරැව්කරුවන් විසින් ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වකුගඩු ජාවාම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේදී වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයකුගේ සහෝදරයකු විසින් බායි නමැති තැරැව්කරුවා තමාගේ වම් වෘෂණ කෝෂය රුපියල් ලක්ෂ 70කට ඉල්ලා සිටි බව කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ සඳහන් කර තිබේ. “මේ කියන පුද්ගලයාත් වකුගඩුවක් අලෙවි කිරීමට සූදානම් වෙලා තියෙනවා. එහෙත් ඔහුගේ සිරුරේ බර ඇතුළු වෙනත් හේතූන් කිහිපයක් නිසා වකුගඩුව ගැනීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ වෙලාවේ බායි කියන පුද්ගලයා පවසා තියෙනවා බර වැඩි නිසා වකුගඩුව ගන්න බැහැ. උඹේ වම් වෘෂණ කෝෂය දෙන්න පුළුවන්ද කියල. ඒකට ලක්ෂ 70ක් දෙන්නම් කියල තියෙනවා. ඔය කථාවට අත්තටු ඇවිල්ල වෘෂණ කෝෂ ජාවාරමක් ගැන රටම කථා වෙන්න ගත්තා“ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෘෂණ කෝෂ ජාවාරමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් නොපවත්වන බවත් එවැනි ජාවාරමක් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බායි නමැති පුද්ගලයාගෙන්ද මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ වෘෂණ කෝෂ ජාවාරමක් ගැන තමා කිසිවක් නොදන්නා බවකි. වෘෂණ කෝෂ අලෙවි කිරීමක් හෝ ඒ සඳහා පුද්ගලයන් රෝහලට සම්බන්ධ කර දී නැති බවත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවා මේ වන විට තහවුරු කර ඇත්තේ වෘෂණ කෝෂ බද්ධ කිරීම් මෙතෙක් ලෝකයේ පවා සිදු නොවන බවය.

පොලිසිය සැක කරනුයේ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නොමඟ යැවීමට වෘෂණ කෝෂ කථාවක් ගොඩනඟා ඇති බවකි.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් හෙළි කර ගෙන ඇති කොළඹ අපරාධ කොට්ඨාසය ඉකුත් සතියේදී බොරැල්ලේ පිහිටි අදාළ පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂාවක්ද කර තිබේ.

ඉදිරියේදී මේ ජාවාරම සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඉදිරි විමර්ශන සඳහා තාක්ෂණික සහාය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ගැනීමට කටයුතු කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න