වසත් සුළඟ | දිනමිණ

වසත් සුළඟ

කරුණාබරිත ගස

නිතර පසුකර යමි 
කරුණාබරිත ගසක් 
එහෙත් නොදනිමි එහි නම නම්  

හිස නමා ආචාර කළ විට මා 
පිළිතුරු ලෙස, කාරුණිකව 
අතු රිකිල්ලක් වනයි, එය 

වෘක්ෂය, මම ඔබේ නම නොදනිමි 
(ඔබ හෙම්ලොක් ගසක් ද
දේවදාර ගසක්ද?)
එහෙත් ඇයි මා මේ ඒ ගැන ලැජ්ජාවෙන්?
නොදන්නවා ඇත බොහෝ විට 
ඔබ, මගේ නමත් 

Christopher Morley
පරිවර්තනය
හෙල්මලී ගුණතිලක


නොගැළපෙන චාරිකාව යන්නේ අපි හරිම කැමැත්තෙන්!

කුඩා කුරුලු පියාපතක්
අපහසුවෙන් සොයාගෙන
ඒ මත නැඟී සුළං එන අත බලාගෙන
සැප පහසුවට සීතට අඳින
ලොම් කබායක් පෙරෝගෙන
විටෙක වැතිරගෙන විටෙක හිඳගෙන
එහෙත් තරයේ අත්වැල් අල්ලගෙන

මේ නොගැළපෙන චාරිකාව යන්නේ 
අපි හරිම කැමැත්තෙන්!

නිෂ්චිත දිශාවක් නැත බලාපොරොත්තු හැර
නැවතුමක් නැත ගිමන් හැරීමක් හැර
අහස විනිවිද තාරකා එකින් එක පසුකර
සොයා යමු අඳුරු ගුප්ත විශ්වයේ කෙළවර

මේ නොගැළපෙන චාරිකාව යන්නේ 
අපි හරිම කැමැත්තෙන්!

නිහඬව උණුසුම් සිපුම් පහරකින් නිදි බිඳ
මල් උයන් ගණ කලෑ දෙණි ඕවිටි මැද
කිසිවකු නොදුටු උස් කඳු මුදුන් පිරිමැද
නිදහසේ පාවෙවී නැළවෙවී සුව විඳ

මේ නොගැළපෙන චාරිකාව යන්නේ 
අපි හරිම කැමැත්තෙන්!

එම්.කේ.සී.පී. ශෂීන්


රෑන අමතක මොනරෙක්

ඈත දොර පොද වරක් සැලුණා මගේ ඉකියක හඬ අසා
දෑල ගල ඔය ඉවුරු බිඳගෙන කඳුළු වතුරේ පා වුණා
නෑර එක මඟ එමියි කී බස් සෙබඩ ළඟ තනියට තියා
රෑන අමතක මොනරු හිටියලු අදත් වෙල ඉහළට වෙලා

දරා දරු දුක දෙවුර මත තනිකඩව ඇවිදින මාවතේ
කිරා මැන දුන් ප්‍රේමය ද ගෙන ඈත් වී යන්නට සිතේ
වරා නිදි නුඹ හීනෙනුත් හිනැහුණා ළඟ හිඳ යහනතේ
බුරා නැඟි ගිනි මැදින් හිනැහෙමි හෙටත් ඇහැරෙන ජීවිතේ

නේක සායම් උලා විසිතුරු හැඩ කෙරූ කැඩපත අරා
පේන දුරකින් තවත් නොඉඳිමි සුදු ඉරිත් මුහුළස පුරා
රෑක ඇහැරුණු කඩුපුලක් ළඟ මට හිමිව තිබු හිත තියා
ගේන සෙනෙහස ළඟ ම දැවටුණු පෙම්වතී නෑ මිය ගියා

ඉසුරු රන් කහවණු පඬුරු මැද හිත සතුට හේදී ගිහින්
පවුරු බිඳ නෙත් දුරක ගොස් කය පමණි ඉතිරිව මා ළඟින්
රුසිරු මල් නියඟලා දුටුවද විසක් සේ නොසිතූ බැවින්
සතුරු හිත් කැණිමඬල බිඳ ගෙයි දුරස්කර ඇත අපි අපෙන්

නාඳුනන පපුවලත් හද හඬ අහන මගේ හිත රවටලා
වාන්ලන නුඹෙ හද ගැස්ම පිට පාරකින් තව දුර ගියා
හූල්ලන පොඩි උන් දෙනෙත් මඟ හරිමි අදටත් බොරු කියා
පාළු වුණ හද මතින් පියමැන මගේ ජීවක ඇගෙ වුණා

ධනංජනී රත්නායක


ඉද්ද කැකුළ

සුදු අරලිය මලක් වෙලා හිතට සිසිල ගෙනෙ⁣න
සේපාලිකා සුවඳ වගෙයි රුදු රැය මුදු කරන
සමන්පිච්ච පොකුරක් සේ බුදුන් පුදට වඩින
ඉද්ද කැකුළ සුදු දෝණී ගෙපැල සුවඳ කරන

හුරතල් මුදු ටිකිරි සිනා දිවි මඟ ගිම් නිවන
ආදරබර තෙපුල්වලින් හද මන්දිර මවන
නව ලොව මං තනන දිරිය නිබඳ සිතට දෙමින
ඉද්ද කැකුළ සුදු දෝණී ගෙපැල සුවඳ කරන

තරිඳු ධනංජය වීරසිංහ


අදත් බඹරිඳු ගියා ඈතින්

පිපී අකලට ඔහේ පරවෙන
මලක ලස්සන නෑ කියා
සැහැසි බඹරෙකු රොනට ඇවිදින්
රැඟුම් පෑවා ඇස් පියා
ප්‍රේම හැඟුමන් හුරුම නැති මුදු
මලට කඳුළැලි ගෙන තියා
අදත් බඹරිඳු ගියා ඈතින්
නොඑන දවසක් ගැන කියා

නුවන්ති හංසිනී උත්පලා 


එක් දිනෙක ඔබට මතක ඇති

එක් දිනෙක ඔබට මතක ඇති
ජීවිතේ වසන්තය මම හොයපු හැටි
සනාතන කුලුනු යට ඇදවැටී
හන්තාන සුළඟට අදත් මල් ඇති

තැළී පොඩි වී ශිඛර පර මත
බිඳී යන ළැම තුෂර පෙණ පිඬු
දුරාතීතෙක මහවැලිය තුළ
හෙටත් පෙර ලෙස ගලනවා ඇති
විසල් පූජාසනය නිම කොට
එක් දිනෙක ඔබට මතක ඇති
ජීවිතේ මම දරාගත් හැටි……

අනෝරා වට අකල් වැහි බිඳු
රෝස මල් පෙති සිඹින මඳනල
හැරදමා ගොස් සිහින විජිතය
ඉඩෝරය යළි උරුම කර දුනි
තිබුණු අවසන් පිනි පොදත් ගෙන
සදාකල් ඔබට මතක ඇති
ජීවිතේ කෙළවරක, මම නිවුණු හැටි...!!

අර්ජුන රණසිංහ


නම නොදන්නා ඒ මල්

අදත් පිපී හිනැහෙනවැති
අපි තරගෙට නම් තියපු
නම නොදන්නා ඒ මල්
එදා වාගේම

නොයා බැරි වෙලාවක
ඉඳහිටක ගියත් එතැනින්
සුවඳ නැහැ ඒ මල්
ඉස්සර තරම්ම

ඔහෙත් පිපෙනවා ඇති
ඒ වගෙම මල්
නුඹත් යනවා ඇති
නොදැක්කා වාගේම

මත අමතක වුණා කියන්න නුඹට
මෙහේ දැන් පිපෙනවා හරියට මල්
ඉස්සරට වැඩියෙන්ම
එක එක පාට, එක එක සුවඳ
නම නොදන්නා මල්
ඒ ඔක්කොම

ලක්මාලි කරුණානායක


රන් හඳ

දිලි දිලි දිලිසෙයි
රන් හඳ අහසට වී
රෑ කළුවර මහ පොළොවට
රන් හඳ දැක ලොබිනි
දිය කඩිත්ත හිනැහෙයි
හඳ මගේ ළඟ පමණි

නයනා ශ්‍යාමලී රාජපක්ෂ


සිහින

සේපාලිකා මල් සුවඳ හමා එන
කෑලි කැපිය හැකි කළුවර මැද්දෙන්
කවුළු පියන්පත් විවරව පවතින
රථයක් පදවන සුන්දර විදීම
තිබේද ඔබ හට 
මේ දිවි ගමනේ

නිහඬ නිසසල 
සොඳුරු රැයක මිහිරි බව
රැහැයියන්ගේ කෙඳුරුම
පළඟැටි නාදයේ ගීතය
දැනී ඇතිද අසා ඇතිද
ඔබ මේ දිවි ගමන තුළ

ජීවිතය සුන්දරයි 
නෙතු විවර කළ විටදි
හමා යන මඳ සුළඟ
සිහින රැගෙන ගමන් කරයි
තම සිහිනය මත හිඳගෙන
විශ්වය තුළ සැරිසරන්න

සරංගා විජයසිරි 


බලාපොරොත්තුව

මේ ශුෂ්ක කතර මැද
හුඟක් හෙවනෙ නැති වුණත්
එකම ඊතණ පදුරක්
ඇහැට පේන්නම තියෙනවා

ඉර අහස මැදට එන
මහ දවාලට වැඩියෙ
හුඟක් සීතල රෑට
පිපාසය දැනෙනවා

ගැඹුරු තැනකම වුණත්
කවද හරි දිය කඳක්
හමුවෙතැයි හිතාගෙන
දිගින් දිගටම කණිනවා

ඔබ කියන කෙම්බිමට
හුඟක් දුර ඈත ඇති
මඟ නොදැන හරියටම
එන්න බය හිතෙනවා

සිකුරු තරු නුබ දිලෙන
පාන්දර යාමයක
ඇස් දෙකට අත තියන්
මම ඈත බලනවා

මඟ ලකුණු දිගේ ගිය
පිය සටහනක් නැතත්
ඇට කැබලි හිස් ⁣එහෙම
තැනින් තැන පෙනෙනවා

මුළු අහස කළු කරන්
තද හුළඟකුත් එක්ක
මහා වැස්සක ලකුණු
හතර අත පෙනෙනවා

කතර මැද මල් පිපෙන
දවස දුර නොමැති බව
තනි හිතට හිතෙනවා
එතෙක් මෙහෙ රැඳෙනවා

නිරංජලා සරෝජනී


මිදි කතාව 

චණ්ඩ හිරු කෙහෙරැල්ල සිප ගත් 
සෙනෙහසින් ඉරි තැළුණු මිහිකත 
ගැඹුරු පතුලක අගක සිටගත් 
ගසක වියැළුණු වෘද්ධ මුල් මත

නැගි නැඟී එන ජීවිතේ වැල 
පිපෙන මල් පණ පෙවුණ මිදි වැල 
හිවලා නාවත් තිත්ත රැඳෙනා 
පුදුමසහගත දෙයකි මිදි පල 

දිල්මිණි හසින්තා අබේරත්න 


මෝහ

බෝ ගසක්
යට
බස් නැවතුමක්

එන්.ඩබ්.පී.ලාල්


පා සලඹ

නොබලාම
සුරබි දෙන
පුංචිම තරුව
අහසේ

නයංජන දිසානායක

නව අදහස දක්වන්න