ප්‍රකෘතිය | දිනමිණ

ප්‍රකෘතිය

දේවල් පටන් ගත්තේ අදක ඊයෙක නෙවෙයි. ගමේ වැඩිහිටියෝ කියන විදියට ප්‍රශ්නේ පටන් ගත්තේ තරිඳු ඇටෙන් පොත්තෙන් එන කාලේ ඉඳන්. මුල් යුගයෙදි ඒක කොලුකම කියලා නොසලකා හරින්න පුළුවන් වුණත් පස්සේ පස්සේ වැඩිහිටියන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. 

තරිඳුට වුණත් තමුන් හිතන පතන විදිය වෙනස් කියලා තේරුණත් ඒක මහ ලොකු ප්‍රශ්නයක් විදියට එයා හිතුවෙ නෑ. ඒ වෙනුවට ඒ වැඩිහිටියන්ගේ හැසිරීම ප්‍රශ්නයක් විදියට එයාට හිතෙන්න ගත්තා. මුලින්ම ඒ හැසිරීම්වල අවුලක් තියෙයි කියලා එයාට දැනුණා. විශේෂයෙන්ම ආගමික කාරණාවන් ගැන එයාට දැනුණෙ ප්‍රශ්නාර්ථයක්. දෙවියන්ට පින් දෙන ගාථාව කියන ගමනුත් ඇත්තටම දෙවියෝ ඉන්නවද කියලා එයා කල්පනා කළා. කතරගම දෙවියන්ට මූණු හයකුයි, අත් දොළහකුයි දීපු එක වැ‍රැදියි කියලා එයාට හිතුණා. ඒත් දේව කතා අහන්න තරිඳු ආසා කළා. 

හැබැයි තරිඳුගේ ආසාව ඉක්මවලා දේවල් බලහත්කාරී සීමාවකට යද්දි තරිඳු ඒ දේවල් ප්‍රශ්න කරන්න ගත්තා. ප්‍රතික්ෂේප කරන්න ගත්තා. තරිඳුගේ හැසිරීම වැඩිහිටියන්ට ප්‍රශ්නයක් වෙන්න ගත්තේ ඊට පස්සේ. සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි තැන වැඩිහිටියෝ වෙනින් උත්තරයක් හොයා ගත්තා. ඒ තරිඳුව ඇට්ටරයෙක්, කමකට නැති එකෙක් කියලා හංවඩු ගහන එක. 

ඒත් ගමේ අනෙක් ඇට්ටරයන්ට සාපේක්ෂව තරිඳු වෙනස් වුණා. එයා ගමේ ඇළට, දොළට කමතට ගරාජ් එකකට සීමා වුණේ නෑ. මේක විසි එක් වැනි සියවස හන්දා තරිඳුට තමුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ඕනේ තරම් මූලාශ්‍ර තිබ්බා. ප්‍රශ්නවලට උත්තර හොයන්න ඉගෙන ගන්නවට වඩා දේවල් ප්‍රශ්න කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක වඩා වැදගත් කියලා එයාට තේරුණා. තමුන්ම විකාර කියලා බැහැර කරපු දේවල් පවා, ආපහු ප්‍රශ්න කරද්දි අර වැඩිහිටියන්ට දෙන්න බැරි වෙච්ච, අහුනොවිච්ච උත්තර, තර්ක ඒ විකාර ඇතුළේ තියෙනවයි කියලාත් තරිඳුට තේරුණා. ඒත් තරිඳු කියපු දේවල් ඒ වැඩිහිටියන්ට තේරුන් නෑ. ඒ හින්දම එයාල තරිඳුගේ නාමකරණය වෙනස් කළා. ඇට්ටරයා රැඩිකලයෙක් බවට පත් වුණා. 

හැබැයි තරිඳුට ඒකේ වගක් තිබ්බේ නෑ. ඒත් එක තැනකදි මේ හැමදේම සමාජ අවශ්‍යතාව ඉක්මවා ගිය විකෘතියක් කියලා එයාට තේරුණා. තමුන් ඇතුළු සමාජයම ඒ විකෘතියේ වින්දිතයෝ කියලා තේරෙද්දි තරිඳු කෑ ගහන්න පටන් ගන්තා.

"ඇස් ඇරලා බලපල්ලා, උඹලා ඔක්කොම ඔය අහුවෙලා තියෙන්නේ බිස්නස් එකකට, දේශපාලන උගුලකට." 

තරිඳු එහෙම කෑ ගහන්න, කෑ ගහනකොට මිනිස්සුන්ට තරිඳුව විකෘතියක් විදියට පේන්න ගන්තා. ඒත් එක්කම ආයෙත් තරිඳුගේ නාමකරණය වෙනස් වෙනවා. "ඕකා පිස්සෙක්. "

පිස්සෙක් වගේ ඔහේ කෑ ගහලා හති වැටිච්ච තැනදි තරිඳු නතර වෙනවා. අවුරුදු ගාණනක් තිස්සේ කාලය නාස්ති කරමින් තමුන් කරපු කියපු දේවල් මොන විකාරයක්ද කියලා එයාම ප්‍රශ්න කරද්දි ඇත්තටම තමුන්ට පිස්සුද කියලා තරිඳුට හිතෙන්න ගන්නවා. එයා මනෝ වෛද්‍යවරයෙක්ව හම්බවෙන්න තීරණය කරන්නේ අන්න එහෙම. 

වටේ පිටේ හිටපු අයගේ බාධා කිරීම් නොසලකා හරින තරිඳු බලහත්කාරයෙන්ම වි⁣ශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ කාමරයට කඩාවැදුණා. එයා කෙලින්ම ගිහින් ඉඳ ගන්නේ වෛද්‍යවරයාගේ මේසේ පැත්තකින් තිබ්බ පුටුවේ. විශ්‍රාම යන්න ආසන්න වයසක හිටපු වෛද්‍යවරයා තරිඳු දිහා බලන්නේ කිසිම කලබලයක් නැතිව. ඒ බැල්ම තරිඳුට කතා කරන්න දිරියක් දෙනවා. චකිතය පැත්තකට දාලා අමාරුවෙන් වචන ගළපා ගන්න තරිඳු කතා කරන්න පටන් ගත්තේ අන්න ඒ බැල්මට පස්සේ.

"ඩොක්ට.. ඩොක්ට මට හිතෙනවා මට මානසික අවුලක් තියෙනවා කියලා.. මට හිතෙනවා මට පිස්සු කියලා.."

ඒ වචන ටික කියෝ ගත්තා විතරයි ලොකු බරකින් නිදහස් වුණා වගේ තරිඳුට දැනුණා. ඒත් එක්කම වෛද්‍යවරයාගේ ඇස් දිලිසෙන්න පටන් ගන්නවත් එයා දැක්කා.

"නියමයි පුත.. සන්තෝෂයි. ඔයාට දැන් ඉක්මනින්ම ගෙදර යන්න පුළුවන්"

රන්සර බණ්ඩාර

නව අදහස දක්වන්න