අන්තර්ජාල ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් | දිනමිණ

අන්තර්ජාල ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්

Domain Name සිංහල සහ  දෙමළ භාෂාවලින්

ලේක්හවුසියත්  නව තාක්ෂණය හා එක්වෙයි

 

මෙරට අන්තර්ජාල ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් වසම් නාමයන් (Domain Name) සිංහල සහ දමිළ භාෂාවෙන් (Dot Lanka (.ලංකා)and Dot Illangai (.இலங்கை).) ලබා ගැනීමට ඊයේ (06) සිට හැකියාව ලැබිණි.

මෙරට විශාලතම මාධ්‍ය ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය මෙරට මාධ්‍ය ආයතන අතර සුවිශේෂී වෙමින් ඊයේ සිට මෙම තාක්ෂණය හා එක්වුණි. ඒ අනුව ලේක්හවුස් ආයතනය ද සිය ප්‍රකාශනවලට අදාළ ඩොමේන් නාමයන් සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කරනු ලැබේ.

එසේම ඉදිරියේ දී ඊමේල් ඩොමේන් නාමයන් ද සිංහල සහ දමිළ භාෂාවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් එසේම ඉහත ඩොමේන් නාමයන් යටතේ සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඊමේල් ලිපිනයන් ලබා ගැනීමට ද හැකියාව ඉදිරියේ දී ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පාසලට (UCSC) අනුබද්ධ ලාභ නොලබන ආයතනයක් වන තීක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා පැවැසීය.

ඊයේ පැවැති වැඩමුළුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හර්ෂ විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය.

අද සිට ඉදිරියට තමන්ට අවශ්‍ය වසම් නාමයන් සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් ලබා ගන්න හැකියාව ලැබෙනවා. මෙහි විශේෂත්වය එයයි. ඒ වගේම මේ වන විට ඊමේල් ෆ්ලැට්ෆෝම් එකක් මුළුමනින්ම වසම් නාමයෙන් ඊමේල් යැවීම සඳහා අවශ්‍ය තාක්ෂණික වැඩපිළිවෙළට අවශ්‍ය සර්වර සකස් කරමින් යනවා. මේ සම්බන්ධයෙන් අපි උදෑසන වැඩමුළුවක් ද පැවැත්වුවා.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ලේක්හවුස් ආයතනය ලංකාවේ තියෙන පැරණිතම මාධ්‍ය ආයතනයක්. ලේක්හවුස් ආයතනය සතුව තියෙනවා ප්‍රකාශන රාශියක්. විශේෂයෙන්ම දිනමිණ සහ සිළුමිණ පත්තර ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරනවා. ඔවුන් අද ඔවුන්ගේ වසම් සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කරනවා. ඒක සුවිශේෂී අවස්ථාවක් වෙයි ලංකා ඉතිහාසයට, ඒ වගේම මාධ්‍ය ඉතිහාසයට. ඒ වගේම වසර සියයකට වඩා ඉතිහාසයක් තියෙන ලේක්හවුස් ආයතනයටත් සුවිශේෂී අවස්ථාවක් වෙනවා.

ඒ වගේම දැනට සෙවුම් යන්ත්‍රයකින් කිසියම් මාතෘකාවක් සොයා යන විට ලැබෙන්නේ අදාළ සෙවුම් යන්ත්‍රයේ ටයිප් කරන භාෂාවට අදාළ තොරතුරු පමණයි. බොහෝ විට ඉංග්‍රීසියෙන් යමක් සොයන විට සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු ලැබෙන්නේ නැහැ. මේ ගැටලුවටත් ඉදිරියේ දී විසඳුමක් දෙන්න අපි කටයුතු කරමින් සිටිනවා. එවිට සිංහලෙන් තොරතුරු සොයා යන විට ඉංග්‍රීසියෙන් අන්තර්ජාලයට එක් කළ තොරතුරුත් ලබා ගත හැකි වෙනවා.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න