ක්‍රිකට් තේරීම් කමිටු නාමයෝජනා ජාතික ක්‍රීඩා තේරීම් සභාව ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

ක්‍රිකට් තේරීම් කමිටු නාමයෝජනා ජාතික ක්‍රීඩා තේරීම් සභාව ප්‍රතික්ෂේප කරයි

ෆවුස් මොහොමඩ්

යළි කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම සඳහා යෝජනා කරමින් එවනු ලැබූ නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා තේරීම් සභාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලසීමාව පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වූ බැවින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඉල්ලා ක්‍රිකට් ආයතනය එම නම් ලැයිස්තුව එවා තිබිණි.

ක්‍රිකට් තේරීම් කමිටුවට ඊට වඩා සුදුසුකම් ඇති අපේක්ෂකයන් සිටින බවට පෙන්වා දෙමින් අදාළ නම් ලැයිස්තුව ප්‍රතික්ෂේප කළ බව ජාතික ක්‍රීඩා තේරීම් සභාව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දෙනු ලැබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රිකට් තේරිම් කමිටුවට පත් කිරීමට යෝජනා කරමින් ක්‍රිකට් ආයතනය විසින් පුද්ගලයන් දසදෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති අතර, අවසන් වරට ප්‍රමෝදය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් සියලුදෙනාගේ නම් ඊට ඇතුළත් වන බව වාර්තා වේ. මීට අමතරව තවත් හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ නම් ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබූ බව ද සඳහන් වේ.

වෘත්තීමය වශයෙන් සුදුසුකම් ඇති සාමාජිකයන් පිරිසක් ක්‍රිකට් තේරීම් කමිටුවට තෝරා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි නඟා සිටුවීම සඳහා කාලීන අවශ්‍යතාවක් වන බව ජාතික ක්‍රීඩා තේරීම් සභාවේ විශ්වාසය වී ඇති අතර, ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීම සඳහා යළි අලුතින් නාම යෝජනා කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවට රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමසිංහ, වරුණ වරාගොඩ සහ උවෙයිසුල් කර්නයින් ඇතුළත් වූහ. මෙවර ක්‍රිකට් තේරිම් කමිටුවට යෝජිත නම් ලැයිස්තුවට විනෝදන් ජෝන් සහ ශාන්ත කලවිටිගොඩගේ නම් ද ඇතුළත් බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය.

නව අදහස දක්වන්න