විහාරාධිපති හිමිගේ අඩන්තේට්ටම් ගැන පැමිණිලි කළ සාමණේර හිමිට පහර දුන් මාලිමා අපේක්ෂකයා සැඟවිලා | දිනමිණ

විහාරාධිපති හිමිගේ අඩන්තේට්ටම් ගැන පැමිණිලි කළ සාමණේර හිමිට පහර දුන් මාලිමා අපේක්ෂකයා සැඟවිලා

විහාරාධිපති අත්අඩංගුවට

බෙලිහුල්ඔය හල්පේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගෙන් සාමණේර හිමිවරුන්ට සිදු වන ලිංගික හිරිහැර හා අඩන්තේට්ටම් ගැන දායක සභාව ඇතුළු වගකිවයුතු ආයතන දැනුම්වත් කිරීමට සාමණේර හිමිනමක් ක්‍රියා කිරීම හේතුවෙන් උරණ වී සිය ආධාරකරුවන් පිරිසක් සමඟ විහාරස්ථානයට කඩාවැදී එම සාමණේර හිමිනමට පහරදුන් මාලිමාවේ අපේක්ෂකයා සහ ඔහුගේ ආධාරකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව සමනලවැව පොලිසිය කියයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 06 වැනිදා රාත්‍රී කාලයේදීය. ප්‍රහාරය එල්ල වීමට පෙර විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ වැඩසිටින සෙසු සාමණේර හිමිවරු 05 දෙනාද රැගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් සිට ඇති බවද පොලිසිය කියයි.

මෙම විහාරස්ථානයේ වැඩසිටින මෙම සාමණේර හිමි ඇතුළු සාමණේර හිමිවරුන් 06 දෙනකුට මේ විහාරාධිපති හිමියන්ගෙන් ලිංගික හිරිහැර සිදුව ඇති බව පොලිසිය කියයි. මාලිමාවේ අපේක්ෂකයා ඇතුළු පිරිසක් පහරදී ඇත්තේ මෙම ලිංගික හිරිහැර ගැන වගකිවයුතු තැන් දැනුම්වත් කිරීමට පියවර ගත් එම විහාරස්ථානයේම වැඩවසන 16 හැවිරිදි සාමණේර හිමිනමකටය.

විහාරාධිපති හිමි මෙම අපේක්ෂකයාගේ සමීප හිතවතකු බැවින් සහ ඔවුන්ගේ මැතිවරණ කටයුතුවලට උන් වහන්සේගේ සහාය ලැබී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය මඟින් විමර්ශන පවත්වා පෙරේදා (07) සැකපිට පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා කීය. පහරකෑමට ලක් වූ සාමණේර හිමි බලන්ගොඩ මූලික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

මේ අතර සාමණේර හිමිවරු 06 දෙනකුට බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බව සමනලවැව පොලිසිය කියයි. 46 හැවිරිදි එම විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් කළ දැනුම්දීමකට අනුව කළ විමර්ශනයකින් පසුව බව සමනලවැව පොලිසිය සඳහන් කළේය.

මෙම විහාරාධිපති හිමියන්ගෙන් ලිංගික අතවරයන්ට ලක් වූ බව කියන වයස අවුරුදු 08, 12 සහ 16 වයස්වල පසුවන සාමණේර හිමිවරුන් 05 දෙනකුගෙන්ද ප්‍රකාශ ලබා ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උන් වහන්සේලා රෝහල්ගත කළ බවද පොලිසිය සඳහන් කළේය.

පහරකෑමට ලක්ව සිටින සාමණේර හිමියන්ද ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව සඳහන් කරන බැවින් උන් වහන්සේගෙන්ද ඒ ගැන ප්‍රකාශයක් ලබා ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කළේය.

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න