කාල් මාක්ස් ද වමෙන් ඕවර්ටේක් කිරීම | දිනමිණ

කාල් මාක්ස් ද වමෙන් ඕවර්ටේක් කිරීම

අසත්‍ය මෙතරම් හැඩකාරදැයි සිතෙන්නේ පැතිරී ඇති මිථ්‍යාවේ වර්ගඵලය දකින විටය. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පොලොන්නරුවේ ජනහමුවකට ගියේය. එහිදී උගත්කමක් සහිත පුද්ගලයෙකු ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියේය.

“සර් අපි මූල්‍ය අරමුදලට ගිහිල්ලා ණයට ගන්න හදන්නේ ඩොලර් බිලියන 2.9යි. පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දියම ඩොලර් බිලියන 09ක් විතර වෙනවා. ඇයි අපි මේ ණය පස්සෙම යන්නෙ. ඒ වන්දිය ගන්නෙ නැත්තෙ ඇයි කියලා සමහරු අහනවා...”

මේ ප්‍රශ්නය වැනි මවාපෑම් බොහොමයක් මේ දිනවල රට පුරා පැතිරී යයි. එම ප්‍රශ්නයම විග්‍රහ කළ විට පෙනී යන්නේ, ඇසූ සැණින්ම එය මොළය, පැට්‍රොල් මැක්ස් ලාම්පුවක් ' සේ පත්තු වන වෑයමක් බවය. මූල්‍ය අරමුදලෙන් අප බලාපොරොත්තු වන මුදල සියලු දෙනා දන්නේ මුත්, පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දිය සම්බන්ධයෙන් කිසිවෙකු ගණන් හිලව් දන්නේ නැත. එවැනි දැවැන්ත වන්දියක් නොගෙන මූල්‍ය අරමුදලෙන් සොච්චම් ණයක් ගැනීමට වෑයම් කරන බව ද එම ප්‍රශ්නය ගම්‍ය කරයි. ඒ සැණින්ම අසන්නාගේ හිතට නැ‍ඟෙන්නේ ඒ දැවැන්ත වන්දිය කිසිවෙකු හෝ විසින් වංචා කර ඇති බව හෝ වංචා කිරීමට නියමිත බවය. එවැනි අවස්ථා රට හමුවේ තිබියදීත්, ණය බරම, රට හමුවේ පැටවීමට වංචනික දේශපාලකයන් උත්සාහ දරන බවය.

ඇමැති ආචාර්ය ගුණවර්ධන මේ සඳහා අගනා පිළිතුරක් ඒ මොහොතේදී ලබා දී තිබුණි. හම්බන්තොට වැනි දැවැන්ත වරායක් විකුණා අපි ලබාගෙන ඇති මුදල ඩොලර් බිලියන එකකට ආසන්නය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද දැවැන්තම ආයෝජනය වූ, කරදිය වළල්ලේ, අක්කර ගාණක් ගොඩකර ඉදිකරන ලද වරාය නගරයේ ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 1.4කි. එසේ තිබියදී, ගිලී ගිය නැවකින් ඩොලර් බිලියන නවයක් වැනි දැවැන්ත මුදලක් හමුවෙන බවට ඔබ විශ්වාස කරනවාදැයි ඇමතිවරයා එහිදී විමසා තිබුණි.

"මාලිමාව" කැරකෙන්නේම මෙවැනි "නැව්" බලාය. අසත්‍ය වැපිරීම සඳහා ඇති හැකියාව අනුව බැලූ විට, ඒ අත් සඳහා බිත්තර වී වැපිරීමට දුන්නේ නම්, යළිත් මේ රටේ පැරකුම් යුගයක් බිහි කිරීම සඳහා නිසැක ලෙසම හැකි වනු ඇත.

අදියර තුනකින් මෙම නැව සඳහා වන රක්ෂණය මඟින් දැනටමත් වන්දි, ශ්‍රී ලංකා රජය ලබා ගෙන තිබේ. එසේම ඒ සඳහා වන නඩු කටයුතු තවමත් සිදු කරමින් පවතියි. මේවා දැවැන්ත වන්දි සමීකරණ ඔස්සේ සහ ජාත්‍යන්තර නෛතික ක්‍රියාදාම ඔස්සේ පවත්වා ගෙන යන කටයුතුය. එසේ නොමැතිව, පාරේ වාහන දෙකක් ගෑවුණු විට රක්ෂණ ආයතනයකට කතා කර, එහි නියෝජිතයෙකු වාහන දෙකේ පොටෝ ගෙන, රියැදුරන්ගේ ලයිසන් දෙකේ අංක ලියාගෙන පින්තූර ගෙන, කොළයක් පුරවා වන්දි දෙන ආකාරයේ සරල ක්‍රමවේද නොවේ.

එවැනි දැවැන්ත ක්‍රියාවලීන් ඇඟට පතට නොදැනෙන්නට පළමුව හොර ලේබලයට යටත් කර ගැනීම මාලිමාවේ පළමු දිශානතිය වේ. ඊළඟට ඒ බොරුව මත්තට තවත් බොරු කිහිපයක් බදාමයක් සේ අත්හරිනු ලැබේ. ඒවා සිය සමාජ මාධ්‍ය ජාල නියෝජිතයන් මාර්ගයෙන් හෝ කථිකයන්, කට කතාකරුවන් මාර්ගයෙන් රට පුරා ප්‍රචාරය කරනු ලැබේ. අවසානයේ එය කවරයක් පමණක් ඇති "මදයක් නැති" ෆයිල් එකක් තුළට පැමිණේ. තීරණාත්මක අවස්ථාවක් බලා එම ෆයිල් මහජන ප්‍රදර්ශනය සඳහා අතුරනු ලැබේ. ඒ අතරින් කැමති එකක් තෝරා ගන්නා ලෙස, සිට්ටුවට තුණ්ඩු උඩ දමන්නා සේ මාධ්‍ය ඉදිරියේ රඟ දැක්වීම, ඊළඟටය.

ඒ ෆයිල් රැගෙන උසාවි ගිය අයෙක් නැත. දූෂණයට එරෙහිව යටි තොල හපාගෙන උඩ පනින අයට කළ හැක්කේ එවැනි ලිපිගොනු නෛතික ආයතන හමුවේ දිග හැර තීන්දු ලබා ගැනීමය. ඒ මිස ප්‍රදර්ශන කාමය ඇති "ෂෝ මෑන්ලා" මෙන් ප්‍රසිද්ධ ස්ථානවල ඒවා පෙන්න පෙන්නා යෑම නොවේ. ප්‍රසිද්ධියේ එහෙම පෙන්වන එකාට හැකියාවක් නැති බවත්, පෙන්නීමේ මේනියාව ඔහුගේ එකම හැකියාව බවත් වෛද්‍ය මතයයි. මේ වැඩෙත් එසේමය. හම්බන්තොට කළුගල, වරාය නගරයේ පිරවීම සඳහා අවශ්‍ය ගල් ප්‍රමාණය, රත්රන් අශ්වයෝ, උගන්ඩාවට ඩොලර් පටවාගෙන ගිය ගුවන්යානා, ඩුබායි හෝටල් වැනි මාතෘකා දහස් ගණනක් පසුගිය කාලය පුරාම මේ ‘ෂෝ මෑන්ලා’ රටට පෙන්නුවේය. එක් එක් පෞරුෂයන් ඒවා එලෙසම විශ්වාස කළේය. ආණ්ඩු පෙරළුවේය. ජනාධිපතිවරු රටින් පැන්නුවේය. ගෙවල් හත් අටදාහක් ගිනි තැබුවේය. අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහ මඟදී මරා දමා, ඔහුගේ සපත්තු දෙකේ සිට සියල්ලම කොල්ලකෑවේය.

යළි හිස ඔසවන්නේ එම මිථ්‍යාවය. ප්‍රචණ්ඩත්වය වැපිරීමට දැනටමත් ඔවුහු පියවර තබා තිබේ. එදා තුණ්ඩුවෙන් වැපිරූ නිල නොවන භීෂණය, අද සිය කුලීකරුවන් ලවා ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා ආදියේ සිට, වපුරමින් තිබේ. මේ ගෝනිබිල්ලෝය. පාවා දුන්නෝ හෙවත් ඉවත ලන මණ්ඩිය. පෙරාපු වයින් ලෙස අලුත් බෝතලයකට පැමිණ තද රතින් බැබළි බැබළී තිබේ. කාල් මාක්ස් ද වමෙන් ඕවර් ටේක් කරන තරමේ බලයක් පෙන්වන මේ ‘අසත්‍යකරණය’ දෙස තවදුරටත් ඔහේ බලා සිටිය යුතු නැත.

නව අදහස දක්වන්න