පරවාද ගොළු කළ සිංහ නද මොහොට්ටිවත්තේ ගු ණානන්ද මාහිමි | දිනමිණ

පරවාද ගොළු කළ සිංහ නද මොහොට්ටිවත්තේ ගු ණානන්ද මාහිමි

200 වැනි ජන්ම සංවත්සරය

මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන්ගේ දෙසියය වන ජන්ම සංවත්සරය 2023 පෙබරවාරි මස 09 වන දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් බලපිටිය ශ්‍රී සුභද්‍රාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමි.

“ශතෙෂු ජායතෙ ශූරඃ - සහශ්‍රෙසුච පණ්ඩිතඃ වක්තා ශත සහශ්‍රෙසු - දාතා ජගති දුර්ලභඃ”

“සිය ගණන් ජනයා කෙරෙහි ශූර ඇති එක් අයෙක් උපදී. දහස් ගණන් ජනයා කෙරෙහි එක් අයෙක් පණ්ඩිත වෙයි.

ලක්ෂ ගණන් ජනයා කෙරෙහි එක් අයෙක් කීමෙහි බිණීමෙහි දක්ෂ වෙයි. ත්‍යාගි අයෙක් ලෝකයෙහි දුර්ලභ වෙයි.”

ඉහත ප්‍රකාශය සාකල්‍යයෙන්ම අර්ථවත් කළ යතීන්ද්‍රයන් වහන්සේ නමක ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් හඳුන්වාදිය හැකිය. දක්ෂිණ ලංකාවේ බලපිටිය නම් නගරවරයේ මිගෙට්ටුවත්ත, ස්කාගාරවත්තේ විසූ ලද්දුවත්තු නයිදේ සහ කළුදුර මල්දෝ සිල්වා යන දම්පතීන්ගේ තෙවැනි දරුවා ලෙස 1823 පෙබරවාරි 09 වන දින ජන්ම ලාභය ලැබූ මුන්වහන්සේගේ ගිහි නාමය වූයේ ලද්දු මිගෙල් ද මැන්දිස් යන්නයි. මූලික අකුරු කියැවීම දන්ති නයිදේ ගුරුන්නාන්සේ ලෙස ප්‍රකටව සිටි දෑලත් අන්දිස් මැන්දිස් මහතා ලවා සිදුකර, වැඩිදුර අක්ෂරාභාස සඳහාද එහිම යැවීය. උපතින් දොළොස් වසක් ගතවෙද්දී පුරාකෘත පුණ්‍ය මහිමය ඉස්මතු වී ආ නිසාවෙන් 1835 දී බලපිටිය සුභද්‍රාරාම රාජමහා විහාරාධිපතිව වැඩ විසූ බලපිටියේ ගුණරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මිගෙල් මැන්දිස් ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් විය. ස්වකීය ආචාර්යයන් වහන්සේ වෙතින්ම පැවිදි දිවියට අවැසි බණ දහම් උගත් ගුණානන්ද හෙරණපාණෝ වර්‍ෂ 1839දී උපැවිදි වූයේ පියතුමන්ගේ හදිසි වියෝව නිසාය. නැවතත් නොබෝ කලකින්ම ගිහිගෙයින් මිදී පැවිදි වීමට තීරණය කළ මිගෙල් තරුණයා කුමාරකන්ද ගල උඩ විහාරයැයි ප්‍රසිද්ධ ඓතිහාසික කුමාර මහා විහාරයේදී හික්කඩුවේ රතනපාල මහාස්වාමීන්ද්‍රයන් වහන්ස්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් විය. ටික කලක් කුමාර මහා විහාරයෙහි ගත කළ ගුණානන්ද හිමි යෝ පූජ්‍ය සීනිගම ධීරක්ඛනධ මාහිමියන්ගේ සෙවණට පැමිණ සීනිගම විහාරස්ථානයෙහි වැඩ සිටිමින් දායකකාරකාදීන්ගේ ප්‍රසාදය දිනාගනිමින් ක්‍රියා කරන්නට විය. ඒ වන විට පිරුණු විසිවයස් සම්පූර්ණව උපසම්පදාර්හව සිටි මුන්වහන්සේ වර්‍ෂ 1844 දී බලපිටිමෝදර උදකුක්ඛේප සීමාවේදී ජිනෝරස අමරවංසධ්වජ මහා ධම්ම රාජාධිරාජගුරු අති පූජ්‍ය බෝපාගොඩ ඤාණාලංකාර සිරිසුමන ගණාචරිය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ පූජ්‍ය සීනිගම ධීරක්ඛන්ධ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිට විය.

මේ සමය වන විට මිෂනාරීන්ගේ විවිධ තාඩන නිසා බෞද්ධාගම ප්‍රසිද්ධියේ ඇදහීමේ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. මේ පිළිබඳ යමක් කළ හැක්කේ අගනුවරට වැඩම වීමෙන් පමණක් බව තේරුම් ගත් ගුණානන්ද හිමියෝ ස්වකීය ගුරුදේවයන් වහන්සේ සමඟ කොටහේනේ පන්සලට වැඩම කළහ. ඒ 1844 වර්‍ෂයේදීය. අගනුවර මාර්‍ගයක භික්ෂුවකට පිණ්ඩපාතයේ වැඩමවීමට වත් නොහැකි වාතාවරණයක් ඒ වන විට උද්ගතව පැවති අතර, එය කෙසේ හෝ නතර කර යුතුයැයි ගුණානන්ද හිමියෝ තිර අදිටනකට වන්හ. උන්වහන්සේ කොටහේන වැඩම කළේ සෙනසුරාදා දිනකය. රැය පහන්විය. ඉරිදා උදෑසන කොටහෙ එෆ්. පී. ජී. කැතීඩ්රල් දෙවිමැදුර අභියසට ගිය ගුණානන්ද හිමියෝ එහි සිටි ජනයා අමතා තමන් ආවේ වාද කිරීමට බවත් දකුණතෙහි ධම්මපදයත් වම් අතෙහි බයිබලයත් ඇති බව පැවසූහ. උන්වහන්සේගේ මේ ප්‍රකාශය සාගර තරංග මාලාවක් සේ රැව් පිළිරැව් දෙනන් ට විය.

උන්වහන්ෙස් මිෂනාරීන්ගේ විවිධ ප්‍රකාශනවලට හා දේශන විරුද්ධව ප්‍රසිද්ධියේ වාද කතා පැවැත්වූ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1848දී නැඟෙමින් ආ ජාතික අරගලය ඉතා ම්ලේච්ඡ ලෙස මර්‍ධනය කිරීමට කටයුතු කළ අතර, කඩහපොල හිමියන් වෙඩි තබා මරා දමන ලදී. එයිනුත් නොනැවතුණු සිදු පාලකයින් කොළඹ නගරයේ ඇති බෝ ගස් කපා දැමීමට පිඹුරුපත් සකස් කළේය. රටට, ජාතියට, සාසනයට සිදුවන මේ මහා අපරාධය පිළිබඳව කල්පනා කළ ගුණානන්ද හිමියෝ බෝධිරාජ සමිතිය පිහිටුවා දැවැන්ත විරෝධතාවක් දැක්වූහ. එතැන් සිට විවිධ ජාතික ආගමික අරගල රාශියකට ගුණානන්ද හිමියෝ නායකත්වය සැපයූහ. 1863 වර්‍ෂය වාද විවාදවලින් ගහන සමයක් වූ අතර ගුණානන්ද හිමියෝ 1864 නොවැම්බර් 21 දින බද්දේගම වාදයද, 1865 අගෝස්තු මසදී වරාගොඩ වාදය ද, 1866 පෙබරවාරි 01 දින උදන්විටවාදය ද, 1871 ජුනි 07-08 දෙදින ගම්පලවාදයද, 1873 අගෝස්තු මාසයේදී පානදුරාවාදයද පවත්වා බෞද්ධ පක්ෂය ජයග්‍රහණය කර වූහ.

මිගෙට්ටුවත්තේ මාහිමියන්ගෙන් රට දැය සමය වෙනුවෙන් වූ මෙහෙය පිටු දහස් ගණනකින් ලියා තැබුවත් ප්‍රමාණ කළ නොහැකිය. උන්වහන්සේ ග්‍රන්ථ, පුවත්පත් ආදිය ප්‍රකාශයට පත්කරමින් ශාස්ත්‍රීය ලෝකයාටද ස්වකීය දායකත්වය ලබා දුන්හ. කාව්‍යශේඛරය, සිංහල මිලින්ද ප්‍රශ්නය හා පන්සිය පනස් ජාතක පොත සංස්කරණය කොට ප්‍රකාශයට පත්කළ අතර, දුර්ලබ්ධි විනෝදනී ක්‍රිස්තියානි වාද මර්දනය, ක්‍රිස්තියානි වාද විඝාතනිය, සම්‍යයක් දර්ශනය, සද්ධර්‍ම සංග්‍රහය, සත්‍යමාර්‍ගය, විභජ්ජවාදය, ටිබැට් රටේ බුද්ධාගම, බෞද්ධ ප්‍රශ්නය, බුද්ධ ඇදහිල්ල, දුශ්ශීල දාන විභාගය හා මෝහවිඝාතනිය යන කෘතීන් ද රචනා කළහ. එපමණක් නොව ලක්මිණි කිරුළ, රිවිරැස නමින් පුවත්පත් දෙකක්ද උන්වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගියහ.

අප්‍රමාණ දුක් කම් කටොලු විඳිමින් නින්දා අපහාස විඳ දරා ගනිමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා මිගෙට්ටුවත්තේ මා හිමියන්ගෙන් ඉටු වූ අමිල මෙහෙවරට අප සදා ණය ගැතිය. උන්වහන්සේ පහළ නොවන්නට රටේ බහුතර පිරිසක් අදටත් මිත්‍යාදෘෂ්ටිකයන් වන්නට ඉඩ තිබුණි. ජාත්‍යාලයෙන් හා ආගමාලයෙන් ඔද වැඩිව දිවා රෑ වෙහෙසෙමින් ජාතියට මඟ කියූ, වාගීශ්වර, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නම් වූ මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ 1890 සැප්තැම්බර් මස 21 වන දා කොටහේනේ දිපදුත්තමාරාමයේදී සදහටම දෙනෙත් පියා ගත්තේ හැටහත්වන විය පසුකරමින් සිටියදීය.

 

විද්‍යානිධි පණ්ඩිත

අම්බලන්ගොඩ

සුමේධානන්ද හිමි

සහකාර ලේඛකාධිකාරී

ශ්‍රී ලංකා අමරපුර

මහා සංඝසභාව

 


චරිතාවලි කාල රචනය

l උපත - 1823 පෙබරවාරි 09 වෙනි දින බලපිටියේ මිගෙට්ටුවත්ත නම් ගම්මානයේදී ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් නමින් උපත ලැබීය.

 

l මවුපියන් - අසනේරිස් මැන්දිස් මහතා සහ සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මහත්මිය.

 

l පැවිදි දිවියට පත්වීම - බලපිටියේ සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩ විසූ බලපිටියේ ගුණරතන හිමි යටතේ දොළොස් හැවිරිදි වියේදී මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි නමින් පැවිදි විය.

 

l අධ්‍යාපනය - වර්තමානයේ වෙස්ලි විදුහල ලෙස හඳුන්වන, මෙතෝදිස්ත සභා පාසල. ඉංග්‍රීසි, ලතින් ආදි භාෂා ද බයිබල් අධ්‍යාපනය ද ප්‍රගුණ කළේය.

 

l රැකියාව - සිලෝන් ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ මාධ්‍ය‍ව්දියෙකු ලෙස සේවයට බැඳුණි.

 

l දෙවැනි වර පැවිදි වීම - විසි වන වියේදී මිගෙල් තරුණයා දොඩන්දූවේ කුමාර මහා විහාරයේ පින්කමකට සහභාගිවිය. පින්කම අවසානයේ පුස්කොළ පොත් පිටපත් කිරීමේ කාර්යයකට ද ඔහු සහභාගි විය. මේ කාර්යය අවසන් වූයේ, මිගෙල් තරුණයා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් දොඩන්දූවේ කුමාර මහා විහාරයේ වැඩ හුන් තෙලිකඩ සෝණුත්තර හිමි යටතේ මහණ විය.

 

l උපසම්පදාව - 1844 දී, අමරපුර නිකායේ මහානායක බෝපාගෝල ඤාණාලංකාර සිරිසුමන නාහිමිගේ උපාධ්‍යායත්වයෙන් බලපිටියේ මාදුගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා ලැබූහ.

 

l බෝගස් සටන - 1849 වර්ෂයේදී බෝ ගස් කැපීමේ ව්‍යාපාරයට එරෙහිව, කොළඹ හිල් විදියේ පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගේ වලව්වට පිරිස් රැස් කර බෝධිරාජ සමිතිය ආරම්භ කිරීමට පුරෝගාමිව කටයුතු කළ සේක.

 

l පානදුරාවාදයේ පසුබිම - 1865 බැප්ටිස් මිෂනාරිස් සමඟ වරාගොඩ 1865 පෙබරවාරි දෙවන දින බද්දේගමද. 1866 පෙබරවාරි පළමු දින උදන්විට 1871 ජුනි නවය දින ගම්පොළ ආදි ස්ථානවල ප්‍රසිද්ධ වාද සතරක් පවත්වා තිබේ.

 

l වෙසක් පොහෝ දින නිවාඩුව - ඉංග්‍රීසි යුගයේදී 1817 අංක 5 දරන පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් විය. මේ අනුව වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් නොවීය. බෞද්ධාරක්ෂක කමිටුව නමින් සංවිධානයක් නිර්මාණය කර, එහි යෝජනා රැගත් ලිපියක් එංගලන්තයට ගොස් ඕල්කට්තුමා බාර දෙනු ලැබීය. එම සංදේශයට පිළිතුරු ලෙස මහ රැජිනගෙන් ලද නියෝගය අනුව 1885 මාර්තු 27 වැනි දින ප්‍රකාශිත ගැසට් නිවේදනය මඟින් වෙසක්පුර පසළොස්වක පෝය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සිංහල අවුරුදු දිනය ද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් විය.

 

l 1883 මාර්තු 23 - මෝල් ගස් පෙරහැර

දිපදුත්තමාරාමයේ අභිනවයෙන් ඉදි වූ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම යෙදී තිබුණේ මෙම පුන්පොහෝ දිනයේ ය. ඒ වෙනුවෙන් පෙරහැර මාලාවක් සංවිධාන කර තිබුණි. මෙහිදී ගුණානන්ද හිමිගේ උපදෙස වී ඇත්‌ෙත් ‍පෙරහර සඳහා කොඩි හා මල් සැරසිලි ආදිය, නි‍වෙසේ ඇති මෝල්ගසක බැඳ රැගෙන එන ලෙසය. මෝල්ගස් පෙරහැර ප්‍රසිද්ධ වූයේ ඒ ආකාරයටයි.

 

l ලියූ ග්‍රන්ථ -ක්‍රිස්තියානි වාද මර්දනය, බුද්ධ ඇදහිල්ල, සත්‍ය ප්‍රකාශනය, රිවිරැස

 

l දේශනා - දිවයින පුරා වැඩමකොට දේශනා 4000 පමණ පවත්වා ඇත.

 

l ඇසුරු කළ පැවිදි පිරිස - හික්කඩුවේ සුමංගල නාහිමි, වැලිගම සුමංගල නාහිමි, බුලත්ගම ධම්මාලංකාර සුමනතිස්ස නාහිමි, රන්දොඹේ ධම්මාලංකාර නාහිමි

 

l ඇසුරු කළ ගිහි පිරිස - දොන් අන්ද්‍රියස් සිල්වා ධර්මවර්ධන මුහන්දිරම්, පීටර් ද සිල්වා මුහන්දිරම්, පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ආදී බෞද්ධ දානපතියෝ රැසක්

 

l අභයගිරි සංරක්ෂණය - ඉංගිරිසි ආණ්ඩුව අභයගිරි විහාරය පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා බිඳ දැමීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට එරෙහිව මුන්වහන්සේ අභයගිරි චෛත්‍යෝපකාර සමිතිය නමින් සමිතියක් ආරම්භ කර දිවයින පුරා බෞද්ධයන් අවදි කරවා ඉංගිරිසි ආණ්ඩුවේ ඒ උත්සාහය ව්‍යර්ථ කර වූහ.

 

l විවාහ ලියාපදිංචිය - බෞද්ධයන්ට තම විවාහ ලියාපදිංචිය සඳහා කිතුනු පල්ලිය වෙත යාමට යෙදී තිබීමට එරෙහිවත් උන් වහන්සේ කටයුතු කළහ.

 

l විද්‍යෝදය පිරිවෙන - හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් කොළඹට කැඳවා ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමට ද ගුණානන්ද හිමියෝ උත්සුක වූහ.

 

l බෞද්ධ පාසල් පිහිටුවීම - කොළඹ, මරදානේ ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලය ආරම්භ කෙරිණි. වත්මන් ආනන්ද විදුහල ගොඩනැඟුණේ ඒ ආකාරයෙනි.

1880 ජූනි මස 17 වන දින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ආරම්භ කිරීමෙන් පසුව බෞද්ධ පාසල් පිහිටුවීම ආරම්භ විය. ආනන්ද, ධර්මරාජ, මහින්ද, ශ්‍රී සුමංගල, විශාඛා හා මහාමායා වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසැල් බිහි විය. බෞද්ධ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථාව හිමි විය.

 

l අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රබෝධය - 1864.09.17 දින උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පාණදුරේ මහා වාදය පවත්වන අවස්ථාව වන විට නව වන වියේ පසුවූ අතර, එතුමාද මෙම වාදය දැක බලා ගැනීමට පැමිණි බව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ.

 

l ලොව පුරා ප්‍රචාරය සහ ඕල්කට් ආගමනය - මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සිදු කළ ශ්‍රේෂ්ඨ වාදය, එම අවස්ථාවේදීම සිලෝන් ටයිම්ස් පත්‍ර‍ෙය් කතෘ වූ ජෝන් කැපර් මහතාගේ ඉල්ලීම අනුව නීතිඥයකු වූ කෝට්ටේ ඇඩ්වඩ් ප්‍රේරා මහතා විසින් ඉංග්‍රීසියට නඟන ලදි.

 

l අපවත්වීම - 1890 සැප්තැම්බර් 21 වන දිනයේ අපවත් වී වදාළහ. ඒවන විට වයස අවුරුදු 67කි.

නව අදහස දක්වන්න