ස්වාධීන කොමිෂන් සභාවලට විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් වැඩි ඉල්ලුමක් | දිනමිණ

ස්වාධීන කොමිෂන් සභාවලට විශ්‍රාමික විදුහල්පතිවරුන්ගෙන් වැඩි ඉල්ලුමක්

මහින්ද දේශප්‍රියගෙනුත් ඉල්ලුම් පතක්

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත් වීමට විශ්‍රාමික විදුහල්පතිවරුන් විශාල ලෙස ඉල්ලීම් කර ඇති බවත් ඇතැම් විදුහල්පතිවරුන් කොමිෂන් සභා 9 සඳහාම ඉල්ලුම් කර ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව අනිද්දා (9 ) වැනිදා බ්‍රහස්පතින්දා නැවතත් රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිනමිණ‘ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිෂන් සභාව අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත සෙසු කොමිෂන් සභා වේ. එම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද ඉල්ලුම් කර ඇති බව ඒ මහතා මාධ්‍යයට පැවැසීය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න