අලුත් ගමක් අලුත් රටක් - ගමේ ආර්ථිකය නංවන්න හොඳ අවස්ථාවක් | දිනමිණ

අලුත් ගමක් අලුත් රටක් - ගමේ ආර්ථිකය නංවන්න හොඳ අවස්ථාවක්

උදිත ගුණවර්ධන
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රජා සහභාගීත්ව සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන "අලුත් ගමක් අලුත් රටක්" වැඩපිළිවෙළ කුමක්ද, එහි අරමුණු මොනවාද සහ එමඟින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ සහ වාසි මොනවාද යන්න ගැන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

- ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි
- ස්වයං පෝෂිත ගමක් හදන්න අපට පුළුවන්
- දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවට විශේෂ අවධානයක්

අලුත් ගමක් අලුත් රටක් වැඩසටහන සහ එහි අරමුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

වර්තමාන ආර්ථික තත්ත්වය තුළ සියලු ජන කණ්ඩායම් විවිධ පසුබෑම්වලට ලක්ව තිබෙනවා. අප මේ තත්ත්වයෙන් රට මුදා ගන්නේ කොහොමද කියන එක සලකා බැලිය යුතුයි. ඒ සඳහා රටේ සෑම මට්ටමකම පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ආර්ථික සහ සමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණව තියෙනවා. ඒ පිළිබඳ ශක්තිමත් වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අප මූලික වශයෙන් රාජ්‍ය ආයතන හා එහි නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයද දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානද, ආගමික ආයතන මෙන්ම ප්‍රජාවගේ සහභාගීත්වය එක් කර ගන්නවා. "අලුත් ගමක් අලුත් රටක්" වැඩපිළිවෙළ මඟින් ප්‍රජා මූලික ආර්ථික සමාජීය මෙන්ම ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ වැඩපිළිවෙළ මඟින් රටේ නව ප්‍රබෝධයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවට අපට විශාල විශ්වාසයක් තිබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ එකාබද්ධතා සහයෝගිතා වැඩපිළිවෙළක් විදිහටයි. මේ වසරේ ආරම්භ කළ මේ වැඩපිළිවෙළ ඉදිරි අවුරුදු තුන තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ග්‍රාමීය ආර්ථික පුනර්ජනනීය වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන හා සෙසු රේඛීය අමාත්‍යාංශ ක්‍රියාත්මක කරන සමගාමී වැඩසටහන් ඒකාබද්ධ කරමිනි. රටේ ග්‍රාමසේවා වසම් දාහතර දහස් විසිදෙකක් ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ප්‍රතිපත්ති තීරණ ගන්නා කණ්ඩායමේ සිට ප්‍රතිලාභ ලබන අවසාන පුද්ගලයා දක්වා සැදුම් ලත් සමස්තයම ඒකාබද්ධව අඛණ්ඩ පසුවිපරමක් සහිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙම වැඩසටහන මඟින් ස්වයංපෝෂිත ගමක් ස්වයංපෝෂිත පවුලක් සංකල්පය නැවත ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා. මෙහිදී අපට පුළුවන්කම ලැබෙනවා පරාදීන බව අවම කර ආනයනය වෙනුවට මෙරටදීම නිෂ්පාදනය වැඩි කර ගැනීමට. ඒ විදිහට කලක් කටයුතු කළොත් අපට මූලිකව අපට අපේ රටේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබෙන බව ස්ථිරයි. මහජන සහභාගීත්ව සහ සියලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගත් වැඩපිළිවෙළක් විදිහට අපට මේ වැඩපිළිවෙළ හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා.

ඔබ සඳහන් කරන විදිහට මෙම වැඩපිළිවෙළ තුළ අවශ්‍ය කරනු ලබන ග්‍රාමීය කර්මාන්ත ව්‍යාපෘති සඳහා ගම්මාන තෝරා ගන්නේ කුමන ආකාරයටද?

අපි ගමකට අවශ්‍ය කරන කර්මාන්තය තීරණය කරද්දි ඒ ගමට අලුත් කර්මාන්තයක් තෝරා ගන්න එක එතරම් සාර්ථක නැහැ. ඒ නිසා අපි නිතරම ඒ ගමේ තියෙන සාම්ප්‍රදායික කර්මාන්ත මොනවාද අතීතයේ සිට ඒ ගමේ අය නියැළුණේ මොන කර්මාන්තවලද කියලා සලකා බැලිය යුතුයි. යම් කර්මාන්තයක බීජයක් ඒ ගමේ තියෙනවා නම් එතැන ඒ කර්මාන්තය නැවත නංවන්න පහසුයි. ඒ ආකාරයේ සංවර්ධනය වෙන කර්මාන්ත අතින් සාර්ථක වූ ගම්මාන රැසක් රටපුරා තිබෙනවා.

මේ යටතේ කෘෂිකාර්මික, කර්මාන්ත, සත්ත්ව නිෂ්පාදන, ධීවර සේවා වගේම පුද්ගලානුබද්ධ හා සමාජ සංවර්ධනය පිළිබඳ අංශ ඔස්සේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබෙනවා.

අලුත් ගමක් අලුත් රටක් වැඩපිළිවෙළ කෘෂිකර්ම සහ විවිධ කර්මාන්ත අංශ වෙත කුමන ආකාරයේ අවධානයක්ද යොමු කර තිබෙන්නේ?

කෘෂිකර්මාන්තය පිළිබඳ සඳහන් කරනවා නම් ගෙවතු වගාවේ තත්ත්වය සංවර්ධනය කළ යුතු ආකාරය හඳුන්වා දීම, ගෘහස්ථ මට්ටමින් දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය කරන අතර ඒවා වාණිජමය ආකාරයට වගා කිරීමට අප මේ වැඩපිළිවෙළ මඟින් දිරි ගන්වනවා.

ඒ වගේම අතිරික්ත භෝග සඳහා අගය කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම වගා කිරීමේ හැකියාව තිබෙන, වගා නොකළ ඉඩම් ඵලදායි වැඩ සඳහා යොදා ගනු ලබනවා. ඒ සඳහා රජයේ හිස් ඉඩම්, පුරන් කුඹුරු සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳ පසුගිය අය වැය මඟින්ද අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම කර්මාන්ත සංවර්ධනය සඳහාද මෙම වැඩපිළිවෙළ මඟින් සුළු, මධ්‍යම හා මහා පරිමාණ සහ ක්ෂුද්‍ර ගෘහස්ථ ස්වයං කර්මාන්ත සඳහා අවධානය යොමු කර තිබෙනවා. එහිදී නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කාර්යක්ෂමව ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගැනීමද සිදු කරනු ලබනවා. මෙහිදී කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගැනීමක්ද සිදු කරනු ලබනවා. කර්මාන්ත සංවර්ධනය සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලියද නිසි ලෙස සිදු කිරීමට කටයුතු කරනවා. කර්මාන්තය සාම්ප්‍රදායික විදිහට පවත්වා ගෙන යෑම වෙනුවට නවීන විදිහට සිතා බලා නව මානයකින් ඒ සඳහා කටයුතු කිරීමට කටයුතු කළ යුතුයි.

අපනයන නිෂ්පාදන ලෙස විසිතුරු මසුන්, රබර්, වේවැල්, උණ, පන්, දැව මැටි, වැලි, යකඩ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම සිදු කළ හැකියි. අලුත් ගමක් අලුත් රටක් වැඩසටහන තුළ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමට සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මේ වැඩසටහන යොදා ගත හැකි හොඳ අංග රැසක් තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පවුල් වෙත පැවරී තිබෙන වගකීම් සහ රාජ්‍ය මට්ටමේ නිලධාරීන් වෙත පැවරෙන වගකීම් මොනවාද?

අප මූලිකවම රජයේ සහන ලබන පවුල් සහ සහන අපේක්ෂා කරන පවුල් මෙම ගෙවතු වගා වැඩසටහන සඳහා දායක කර ගනු ලබනවා. එහිදී ආහාර හැකි තරම් නිෂ්පාදනය කළ හැකි විදිහට කටයුතු සම්පාදනය කිරීමට නියමිතව තිබෙනවා. පෝෂණ ඌනතා තිබෙන දරුවන් සිටින පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. ඔවුන් වෙත අවශ්‍ය ආධාර සහ සහයෝගය රාජ්‍ය සහ පුද්ගලික අංශය ඔස්සේ ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ පවුල්වල සිටින ගැබිනි කාන්තාවන්ට අවශ්‍ය කරනු ලබන පෝෂණ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කර වැඩ කරනවා. ආර්ථික අපහසුතා ඇති සහ අඩු පෝෂණ මට්ටමක සිටින දරුවන්ට කැපකරු සහන ලබා දීමටත් මේ වැඩපිළිවෙළ මඟින් අවශ්‍ය කරන සහාය ලබා දීමට නියමිතව තිබෙනවා.

ඇත්තෙන්ම මෙවැනි ප්‍රජා මූලික වැඩසටහනක් ප්‍රවර්ධනය කිරීමට ග්‍රාමීය ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් ඉන්නවා. අප ඔවුන්ව මේ සඳහා සම්බන්ධ කර ගන්නවා. සමහරුන් තුළ රාජ්‍ය නිලධාරීන් ගැන ක්ෂේත්‍රයේ සිටින රාජ්‍ය නිලධාරීන් ගැන විවිධ දුර්මත වැරැදි අදහස් ප්‍රචලිතව තිබෙනවා. ඒත් මම රාජ්‍ය නිලධාරියකු සහ ලේකම්වරයකු ලෙස තිබෙන දිගු අත්දැකීම අනුව දන්නවා සියලු රාජ්‍ය නිලධාරීන් එහෙම නොවෙයි කියලා.

බහුතර පිරිසක් යහපත් අදහස් ඇතිව වැඩක් කරන්න ඕනෑ කියන අදහසේ සිටින්නේ. අදත් ගම්වල ලොකු වැඩ කරන ප්‍රජා කටයුතු කරන අවංක රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. අනෙක් පිරිස නිසි මාර්ගය පෙන්වනවා නම් රාජ්‍ය සේවය ජනතා මෙහෙවර සඳහා ඉතාමත් පහසුවෙන් යොමු කර ගත හැකි පිරිසක්.

"අලුත් ගමක් අලුත් රටක්" ක්‍රියාත්මක කරන්නේ කොළඹින් ගමට යන වැඩසටහනක් විදිහට නොවෙයි. ගමත් කොළඹත් සම්බන්ධ කර ගෙන යන වැඩසටහනක් විදිහටයි. ජනතාව සහ නිලධාරි සහභාගීත්ව වැඩසටහනක් විදිහට කටයුතු කිරීම තුළ මේ වැඩසටහන වඩාත් සාර්ථක තැනකට ගෙන ඒමට හැකියාව ඇතැයි මම විශ්වාස කරනවා. ග්‍රාමීය කමිටු හරහායි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම වැඩසටහන පිළිබඳ අදාළ චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.

ග්‍රාමීය කමිටු මඟින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බව ඔබ සඳහන් කළා. ඔබ සඳහන් කළ ග්‍රාමීය කමිටු වෙත පැවරී තිබෙන වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

ග්‍රාමීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා. ඒ සඳහා ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් වසම තුළ මෙම කාර්ය සඳහා වගකීම් ඉටු කළ යුතුයි. ඔවුන් නිරීක්ෂණය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් මඟින් සිදු කරනු ලබනවා. ඒ අකාරයට තමයි මේ වැඩපිළිවෙළ අප විසින් සිදු කරනු ලබන්නේ.

මේ වැඩසටහන ජාතික වශයෙන් ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි වැඩසටහනක් විදිහට සලකන්න පුළුවන්. එහෙත් පසුගිය කාලයේ ආණ්ඩු මාරු සිදුවූ අවස්ථාවල පසුගිය ආණ්ඩු කළ යහපත් කාර්ය පවා නවතා දැමුවා. නැත්නම් වෙනස් කරනු ලැබුවා. "අලුත් ගමක් අලුත් රටක්" වැඩසටහන ප්‍රතිඵලදායක වැඩසටහනක් වුවද මෙය අනාගතයේදී පෙර වැඩසටහන් වගේ වෙනස් වෙයිද.?

ඇත්තෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ පක්ෂ දේශපාලන වැඩක් නොවෙයි. රටටම ප්‍රතිඵල ගෙන දිය හැකි ජාතික වැඩපිළිවෙළක්. මේ වගේ වැඩසටහන් ජනතා සුබසිද්ධියට ලොකු පිටිවහලක් ලබා දෙන වැඩසටහනක්. ඒ නිසා මේ ආකාරයේ වැඩසටහන් ජාතික වැඩපිළිවෙළක් විදිහට දිගින් දිගටම ක්‍රියාත්මක කළ හැකියි. ඒ නිසා මේ වගේ හොඳ වැඩසටහන් අනාගතය සඳහා වඩාත් හොඳින් ශක්තිමත් කර ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.

නව අදහස දක්වන්න