මහජන බැංකුවට ගනුදෙනුකරුවන් රැසක් අහිමි වන ලකුණු | දිනමිණ

මහජන බැංකුවට ගනුදෙනුකරුවන් රැසක් අහිමි වන ලකුණු

ශිරෝමි අබයසිංහ

- බැංකු සේවකයන් වර්ජනයට එක් වීමෙන් මහත් අපහසුතාවට ලක් වුණා
- සංස්ථා දෙපාර්තමේන්තු ප්‍රධානීහු පෞද්ගලික ව්‍යාපාරිකයෝ රැසක් පැමිණිලි කරති

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාචිකව දැනුම් දී ඇත්තේ වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටලු මතු වුව හොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදු වනු ඇති බවයි.

මහජන බැංකුවේ සේවකයන්ද පෙරේදා (15) පැවැති වර්ජනයට එකතු වීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමැති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත.

රජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත්, එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයන් අපහසුතාවට පත් වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කර දී තිබේ. එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර, වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (16) මුදල් අමාත්‍යාංශයේදී අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.

නව අදහස දක්වන්න