මාළු එපා මාළු එපා... ජාඩිම දෙන්න නැත්නම් කරවල කන්න | දිනමිණ

මාළු එපා මාළු එපා... ජාඩිම දෙන්න නැත්නම් කරවල කන්න

මාළු සහ කරවල අතර ඇත්තේ අමුතු සම්බන්ධයකි. මාළුවෙකු නිකන් එළිමහනේ තබා දිනක් ගත වන විට එය කුණු වී ගඳ ගසන්නට පටන් ගනියි. ඒ මාළුවාම ක්‍රමානුකූලව වේළා ගැනීමෙන් එක්කෝ ජාඩි සාදා ගත හැකිය. නැත හොත් කරවල කර ගත හැකිය. කරවල යනු වෙනම ආතල් එකකි. එහි ඇත්තේ බරට හැපෙන ගතියය. සැරට හැදිය හැකි හෙයින් බොහොමයක් පිරිමි කරවල රුසියෝය. ජාඩි ද එසේය. දකුණේ ගමක මධ්‍යාහ්නයේ නි‍ෙවසකට ගිය හොත් ඉක්මනින්ම ලබා ගත හැකි කෑමකි, ජාඩි. ජාඩිහි කොලිටිය පවතින්නේ පල් වෙන තරමටය. ඒ ඒ ජාඩියේ පණුවන් ලෙළදෙනවා දකින සමහර කොළඹ නෝනලා ඊයා කියා කෑ ගැසූවද ජාඩියට ආවේණික වූ පණු ගතිකය දන්නා දකුණේ එකාගේ කටට කෙළ උනන්නේය.

අද සමහර ප්‍රශ්න ද මාළුවා, ජාඩි සහ කරවල මෙනි.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට 2004 වසරේදී අත්සන් කළ ශ්‍රී ලංකා රජයට දූෂණයට වැට බඳින ශක්තිමත් යන්ත්‍රණයක් සෑදීමට මේ දක්වා නොහැකි වී ඇති බවත් ඒ අඩුව සපුරාලීමට කටයුතු කළ වත්මන් රජය නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට යොමු කළ බවත් එමඟින් දූෂණයට එරෙහි ශක්තිමත් යන්ත්‍රණයක් සකස් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේය. දැනට ක්‍රියාත්මක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ‘විශ්‍රාම ශාලාව’ වෙනුවට බලතල සහිත ස්වාධීන ශක්තිමත් අල්ලස් හෝ දූෂණ කොමිසමක් මේ නව පනත මඟින් ස්ථාපිත කරන බව ද ඇමැතිවරයා, එහිදී අවධාරණය කළේය. 2015 වසරේ අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් වූ පසු දූෂණ විරෝධී කෙටුම්පත සකස් කිරීම ආරම්භ කළ බව පැවසූ ඇමැතිවරයා, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුකූලව නව කෙටුම්පත සකස් කළ බවත් මෙරට සිවිල් සංවිධාන, ආයතන හා පුරවැසියන්ගෙන් අදහස් ලබා ගෙන කෙටුම්පත සකස් කළ බවත් පැවසීය. මෙරට දූෂණය පිටුදැකීමට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා, මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම කාලෝචිත බව ද පෙන්වා දුන්නේය.

මේ පනත ඉදිරිපත් කළ ඇමැතිවරයාගේ කතාවය.

මේ රටේ ඇති අඩුපාඩුවක්, ජනතා අවශ්‍යතාවක් සඳහා පිළියම් යෙදීමට හෙවත් සංවර්ධන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ සැණින් විපක්ෂය ප්‍රකාශ කරනුයේ එවැනි යෝධ ව්‍යාපෘති ‘දූෂණ ගංගා’ බවය. ව්‍යාපෘතිය සඳහා ආණ්ඩුව භෞතික වශයෙන් මුල්ගල තබනවාත් සමඟ විපක්ෂය ඒ සඳහා වන දූෂණ කතාව ප්‍රචාරය කරයි. ටික දිනකින් අර ව්‍යාපෘතිය ඉක්මවා දූෂණය ඉහළ යන්නේය. රටේ නැති කතා ගොත ගොතා හදන පාලම හෝ අධිවේගී මාර්ගය සංවර්ධනය සඳහා අනගි උදාහරණයක් නොව දූෂණය සඳහා තරගයකට භාණ්ඩයක් වන්නේය.

එසේම කොහේ හෝ රටක යම් ව්‍යාපෘතියක් පටන් ගත් සැණින් මේ ආණ්ඩු සහ සංවර්ධන විරෝධී බුරුත්තම ප්‍රකාශ කරනු ලබන්නේ ඒවා මේ රටේ දේශපාලකයන් නොකරන බවය. මේ රටේ දේශපාලකයන් වෙත අවශ්‍ය හොරකම් කිරීම මිස ජනතාව වෙනුවෙන් එවැනි සේවා ඉටු කිරීම නොවන බවය. හැබැයි එවැනි ඉදිකිරීමක් සිදු කළ සැණින් ඒ විවේචකයාම සොයා යන්නේ අදාළ ඉදිකිරීමේ දූෂණයය. දූෂණයක් සිදුව ඇත්නම් කම් නැත. නැති කතා ගොත ගොතා එල්ල කළ දූෂණ චෝදනාව යනු දකින එකාට අප්‍රිය වුණ ද හොඳට දන්නා එකාට ජාඩි මෙන්ය. ඌ කන්නෙම ජාඩිය. අලුත් මාළු තිබ්බ ද ජාඩි රස දන්නා එකා කිට්ටු කරන්නෙම ජාඩි හට්ටියටය. රා කට්ටක් එක්ක ඌ පාටි දමන්නේ ද ජාඩිය බයිට් එකට ගනිමින්ය.

දූෂණයට වැට බැඳීම සඳහා පනතක් නොව සියයක් ගෙන ආවද කම් නැත. දූෂණයට සියල්ලෝ එරෙහි වෙති. අද පවතින ලොකුම දූෂණය වී ඇත්තේ නිරපරාදේ දේශපාලන අවියක් ලෙස දූෂණ චෝදනා එල්ල කිරීමය. එය ඒ පුද්ගලයාට ප්‍රශ්නයකි. දෙවනුව ඒ මාර්ගයෙන් එල්ල කරන අනිසි දේශපාලන බලපෑම්ය. අනෙක් අතට මේ හේතුව නිසා කිසිදු ඇමැතිවරයෙකු, නායකයෙකු ව්‍යාපෘති සඳහා අත තබන්නේ නැතිව ඔහේ කාලය ගත කරනු ලබයි. එයින් පිරිහෙන්නේ රටය. අනික් අතට හොඳට සිදු කරන වැඩක් වුවද දූෂණයෙන් වසා දැමිය හැකිය. නෙළුම් කුලුනට, වරාය නගරයට සිදු වූයේ එයය. ඒ සියල්ල දූෂණයෙන් වසා දමා තිබේ. මේ රටේ වර්තමානයේ ඇති ලොකුම දූෂණය වන්නේ හැම එකටම දූෂණය කිය කියා යෑමය. එසේම නැති දූෂණය දේශපාලන බර අවියක් කර ගැනීමය. අලුත් මාළු මෙනි. දූෂණ තිබෙනවා ඇත. ඒ දූෂණ නම් කතාව එළියට ගන්නේ දූෂණය සෙවීම සඳහා නොවේ, දේශපාලනය සඳහා ය.

එය හරියට අලුත් මාළු කරවල කරන්නා සේය. කරවල සමහරුන්ට මාළුවලට වඩා රසය. ප්‍රියය. මේ නිසා නව දූෂණ පනතේ අනිවාර්යය අංගයක් විය යුත්තේ එහෙ මෙහෙ දූෂණ චෝදනා කිය කියා යෑමට ඉඩ නොදී කියූ සැණින් අදාළ හෙළිදරව්ව කරන පුද්ගලයා ද ඇතුළත් කර සියල්ල ඉක්මනින් විභාග කර බැලීමය. රටේ ඇති ප්‍රබලම දූෂණය බවට මේ වන විට පත්ව ඇත්තේ අල්ලස් දූෂණ නොව ඔහේ කරන්නම් වාලේ සිදු කරන චෝදනා නම් දූෂණයය.

නව අදහස දක්වන්න