144 වැනි නිල් මහ සටන රාජකීයයෝ ලකුණු 341ක් ඉදිරියෙන් | දිනමිණ

144 වැනි නිල් මහ සටන රාජකීයයෝ ලකුණු 341ක් ඉදිරියෙන්

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමඟින් කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 144 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ලකුණු 341ක් ඉදිරියෙන් සිටීමට කොළඹ රාජකීය විදුහල සමත්ව සිටී.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල ලකුණු 326කට පළමු ඉනිම අත්හිටුවූ අතර, පිළිතුරු ලෙස සාන්ත තෝමස් පිලට පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 153ක් පමණි.

ලකුණු 173ක පළමු ඉනිමේ වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය පිල ඊයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 168ක් රැස් කර තිබිණි.

රාජකී පිල වෙනුවෙන් පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් රැස් කළ නායක දසිස් මංචනායක ඊයේ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, දිනය නිමා වන විට රුමිරු පෙරේරා නොදැවී සිටියේ අර්ධ ශතකයට ලකුණු 4ක් පසුපසිනි. ඔහු ද පළමු ඉනිමේදී ශතකයක් රැස් කිරීමට සමත් විය.

දසිස් වේගවත් ලකුණු 57ක් රැස් කළේ පන්දු 49කදී හතරේ පහර 6ක් සමඟිනි. රාජකීය දෙවැනි ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4ම ආකාෂ් ප්‍රනාන්දු ඉදිරියේ සටහන් විය.

සාන්ත තෝමස් පළමු ඉනිමේදී ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලම රැස් කළ ලකුණු 40 ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර, පිතිකරුවන් 7 දෙනකුට ලකුණු 10 සීමාවෙන් එපිටට යෑමට රාජකීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

පන්දු යැවීමේදී බුලාන් වීරතුංග කඩුලු 3ක් බිඳ දැමූ අතර, සිනෙත් ජයවර්ධන, සන්දේශ් රාමනායක සහ රනුක මලවිආරච්චි කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තරගයේ අවසන් දිනයයි.

රාජකීය පළමු ඉනිම - 326/8 (ඕවර 74) ඉනිම අත්හිටුවන ලදි. දසිස් මංචනායක 137, රමිරු පෙරේරා 128, ඕවින් අඹන්පොල 30 (ආකාෂ් ප්‍රනාන්දු 55/4, කවිඳු ඩයස් 58/3, නේතන් කල්දේරා 64/1)

සා. තෝමස් පළමු ඉනිම - 153 (ඕවර 55) සේනාධි බුලන්කුලම 40, මහිත් පෙරේරා 30 (බුලාන් වීරතුංග 26/3, සිනෙත් ජයවර්ධන 9/2, සන්දේශ් රාමනායක 36/2, රනුක මලවිආරච්චි 39/2)

රාජකීය දෙවැනි ඉනිම - 168/4 (ඕවර 26) දසිස් මංචනායක 57, රමිරු පෙරේරා නොදැවී 46 (ආකාෂ් ප්‍රනාන්දු 59/4)

 

ඡායාරූප - සුදත් නිශාන්ත

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න