- විශ්‍රාම වයසේ පාර්ලිමේන්තු පනතට ජනතා විරෝධය ඉහළට
- ජනපති මැක්‍රොන්ට විශ්වාසභංගයක් අත ළඟ
ප්‍රංශයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කිරීමට ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ සැලසුමට එරෙහිව පසුගිය මාසයේ උද්ගත වූ උද්ඝෝෂණ හා විරෝධතා අදටත් ඒ අයුරින්ම පැරිස් නුවර උණුසුම් මාතෘකාවක් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විරෝධතාව නිසා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරවම විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත. ඒ සමඟම පැරිස් අගනුවර දී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් වර්ධනය වී ඇතැයි වාර්තා වේ. පැරිස් නුවර දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, ගල්මුල් ප්‍රහාර හේතුවෙන් පොලිස් රථවාහන රැසකට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය ගත් මේ විරෝධතාව අතරතුර සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මාස දෙකකට ආසන්න කාලයක් පුරා දේශපාලන වශයෙන් උණුසුම් විවාදයක් බවට පත්වූ විශ්‍රාම ගැනීමේ වයසේ අර්බුදයට ප්‍රංශයේ තරුණ කොටස්වලින් දැඩි විරෝධතා එල්ල වී තිබේ. මතභේදයට තුඩු දී ඇති මේ පනතට විරුද්ධ පක්ෂයේ කිසිදු සහයක් නැති අතර, ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ රජයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බව දැනටමත් අන්ත දක්ෂිණාංශික විපක්ෂ නායිකා ලේ මැරින් ප්‍රකාශ කර ඇත.
අවුරුදු 64 දක්වා දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු පනතට එරෙහිව එරට වෘත්තීය සමිති ගණනාවක මෙහෙයවීමෙන් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජන මාලාවක් ද පසුගිය දින ගණනාවක් පුරා පැවැත්විණි. මෙතෙක් අවුරුදු 62ක්ව තිබූ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 64 දක්වා දීර්ඝ කිරීමට එරට බහුතර ජනතාව දැඩි අප්‍රසාදය පළ වී ඇති අතර, එම පනත හකුළා ගන්නා ලෙස ජනතාව ජනාධිපතිවරයාට බල කරමින් සිටී. නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පසුගියදා එරට අගමැතිනිය එලිසබෙත් බෝන් ප්‍රකාශ කළ අතර, එය ක්‍රියාත්මක වන්නේ වසර 2027 සිටය. නව පනතට අනුව ප්‍රංශ ජනතාවට පූර්ණ විශ්‍රාම වැටුපක් ලැබීමට වසර 43ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව ඇත.
නව අදහස දක්වන්න