USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත දීමනාවක් | දිනමිණ

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත දීමනාවක්

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද  නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
 
ඒ දිවයිනේ අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට එම නියෝජිතායතනය විසින් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
 
USAID ආයතනය විසින් තෝරාගෙන ඇති පරිදි අදාල දිස්ත්‍රික්ක හයට මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතය.
 
මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම දීමනාව ලබා දෙන අතර පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර මිටියක් බැගින්  නොමිලයේ ලබා දුන්  ගොවි පවුල් ඒ සදහා ඇතුළත් වේ.
 
කෙසේ වුවද පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවිපවුළකට  රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී තිබේ.
 
විශේෂයෙන් යුරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, යුරියා පොහොර නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් 20,000ක් හා රු. 40,000ක් වශයෙන් සහනාධාර මුදල් ලබා දීම, ‌ ගොවි ගිණුම්වලට රුපියල් 10,000ක් හා 20,000ක් වශයෙන් මුදල් බැර කිරීම   වැනි  කරුණු යටතේ රජය වැය කළ මුදල එක් කළ විට එක් ගොවියෙකුට රුපියල් එක් ලක්ෂ නවදහසක් වැනි මුදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.
 
වෙනත් කිසිදු වගා කන්නයක දී මේතරම් විශාල  මුදල් ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත සහනාධාර වශයෙන් ලබා දී නොමැති බව ද අමාත්‍යවරයා පවසයි.  
 

නව අදහස දක්වන්න