මහපොළොවේ ජීවත් වෙමින් අභියෝග ජය ගත් මිනිසා | දිනමිණ

මහපොළොවේ ජීවත් වෙමින් අභියෝග ජය ගත් මිනිසා

හිටපු ජනපති ජේ.ආර්. සමඟ

(ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

 අප රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දී සිටින්නෙමු. එවැනි තත්ත්වයක් උද්ගත වූයේ කාගේ වරදින්දැයි සොය සොයා ඉඳීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ බිමටම වැටුණු ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමයි.‍ එම අභියෝගය භාර ගැනීමේ අවස්ථාව උදා වූයේ පසුගිය වසරේ මැයි 13 දාය. විපක්ෂ නායකයා කර ඇරියේය. අනුර කුමාර ද එම අවස්ථාව මඟ හැරියේ එම අභියෝගය ඔහුට ජය ගැනීමට නොහැකි බව දන්නා නිසාවෙන් විය යුතුය.

බය නැති රනිල් පෙරට ආවේය‍. ඔහු භාර ගත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. මිලියන 22ක ජනතාවගේ බර කරට ගැනීමට රටේ ඒ වන විට සිටි දේශපාලන අත්දැකීම් සහිත එකම පළපුරුදු නායකයා වශයෙන් ඔහු සිය යුතුකම ඉටු කිරීමට අදිටන් කර ගත්තේය. ඒ රනිල්ගේ හැටිය. රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම රනිල් යළි ආර්ථිකය ගොඩ නඟා රටේ අනාගතය සුරක්ෂිත කළේය. රට වැටුණු විට යළි නඟා සිටුවන්න ඔහු උපන් හපනෙකි. ඒ හපන්කම ඉන් පෙර තිබුණේ ජේ.ආර්. ජයවර්ධනට පමණි.

රනිල් ඒ බරට මුලින්ම කර දුන්නේ 2001 වසරේ දීය. ඒ වන විට රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ශ්‍රී ලංකාව හුදෙකලා රටක් බවට පත්ව තිබිණි. එම වසරේ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රනිල් වික්‍රමසිංහ මහතා මනාප ඡන්ද හාර ලක්ෂ පහළොස් දහසක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ආසන 109ක් ලබා ජය ගත් එජාපය ආණ්ඩුව පිහිටු වූයේ රනිල් දෙවැනි වරටත් අගමැති ධුරයට පත් කරමිනි‍.

රනිල් දෙවැනි වර අගමැති ධුරයට පත් වන විට රට බරපතළ අර්බුද දෙකකින් දැඩි ලෙස පීඩා විඳිමින් තිබිණි. ඉන් පළමුවැන්න උතුරු නැ‍ඟෙනහිර පැවැති යුද්ධයයි. දෙවැන්න කඩා වැටුණු ආර්ථිකයයි. යුද්ධයට විසඳුමක් නොදී ආර්ථිකය ගොඩ දැමීම කළ නොහැකි කාර්යයක් විය. ජනවාර්ගික අර්බුදයට සියල්ලටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමත් රටේ ආර්ථිකය යළි නඟා සිටුවීමත් ඔහු හමුවේ තිබූ දැවැන්ත අභියෝග විය. මේ අභියෝගය ජය ගැනීම සඳහා පියවර ගැනීමේ දී ඔහු සිය දේශපාලන අනාගතය ගැන සිතා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමට ක්‍රියා නොකළේය. තම ඡන්ද පදනම වැඩි කර ගැනීම ඔහුගේ අභිලාෂය නොවීය. රටට සාමය උදා කිරීම සඳහා ඔහු අතිශයින් නිර්භීත තීන්දු ගත්තේය. 2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹිණි. ඇතැම් ජනමාධ්‍ය ඇතුළු පිරිස් විවිධ විවේචන එල්ල කළ ද රනිල් නොසැලී ඉදිරියටම ගියේය.

සටන් විරාම ගිවිසුමත් සමඟම ශ්‍රී ලංකාවට යළි සාමය ළඟා වීම නිසා සංචාරක ව්‍යාපාරය යළි හිස එසවීය. රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි වුණු අතර එමගින් ලැබුණු විදේශ විනිමය ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. සටන් විරාම ගිවිසුම සමඟ සාම සාකච්ඡා ඇරඹිණි. සාකච්ඡා වට ආරම්භ වීමටත් පෙර රනිල් උතුර නැ‍ඟෙනහිර පළාත්වල සහනාධාර, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් හෙවත් සමථ වැඩසටහන් ආරම්භ කළේය.

රනිල්ගේ ඒකායන පරමාර්ථය වූයේ යුද්ධය නිමා කර රටට සාමය උදා කිරීමයි. මෙහිදී ඔහු තෝරා ගත්තේ ලොව බලවත් රටවල් ඇතුළු ජාත්‍යන්තර සහයෝගය සහිතව සාමයේ මාවතේ ගොස් කොටි සංවිධානය සාකච්ඡා මේසය වෙත කැඳවා උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයට රටේ සියලුම ජනතාවට එකඟ විය හැකි දේශපාලන විසඳුමක් ලබා ගෙන ජීවිත හානි නොවී යුද්ධය නිමා කිරීමයි. 2001 සැප්තැම්බර් 11 දා නිව්යෝක් නගරයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ රටවල් රැසක් ත්‍රස්ත විරෝධී පිළිවෙතක් අනුගමනය කළ අතර රනිල් විසින් එලන ලද ජාත්‍යන්තර දැලට කොටු වූ බව තේරුම් ගත් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2003 මාර්තු මස දී සාම සාකච්ඡාවලින් ඉවත් විය.

2001 දී දෙවැනි වරට අගමැති ධුරයට පත් වීමෙන් පසු යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනින් යළිත් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා ඔහු මුල් පියවර තැබීය. ආර්ථික විශේෂඥයන් සමඟ මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමට ඔහු කමිටු 8ක් පිහිටුවීය. මේ යටතේ මංමාවත්, වරාය සහ බලශක්තිය ඇතුළු ව්‍යාපෘති 64ක යටිතල පහසුකම් සංවර්ධනයට ඇතුළත් කර තිබිණි.

එවකට ඉන්දියානු අගමැති අතාල් බිහාරි වජ්පායි සමඟ ගිවිසුම් ගත වූ රනිල් ඉන්දු ලංකා ගුවන් ගමන් වැඩි දියුණු කළේය. සාම ගිවිසුමත් සමඟ රටේ සාමයේ අරුණලු උදාවීම මෙන්ම නව ගුවන් ගමන් නිසා ඉන්දියානු සංචාරකයන් නැවතත් මෙරට සංචාරය ඇරඹීම මඟින් විදේශ විනිමය රටට ගලා එන්නට විය.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ රනිල්ගේ සබඳතා වැඩිදියුණු වීමෙන් රටට නව ආයෝජන අවස්ථා හිමි විය.

2003 වසරේ දී ජපානයේ ටෝකියෝ නුවර පැවැති ශ්‍රී ලංකාවට ණය දෙන රටවල සමුළුවේ දී ඒ වන විට ලංකා ඉතිහාසයේ වැඩිම ණය ආධාර ලබා ගැනීමට රනිල් සමත් විය. ඒ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන සහ ගැටුම්වලින් විපතට පත් පෙදෙස්වල සංවර්ධන සහ පුනරුත්ථාපන අවශ්‍යතා තක්සේරුව සඳහාය.

ණය ආධාර සහ මූල්‍ය දීමනා ලෙස මෙහිදී අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මුදලක් හිමි විණි. ඒ ජපානය ඩොලර් බිලියනයක්, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඩොලර් බිලියනය බැගින් සහ අනෙකුත් රටවලින් ඉතිරි මුදල වශයෙනි. ඒ ලංකා ඉතිහාසයේ කිසිදු නායකයකු ලබා නොගත් ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් අති විශේෂ අවස්ථාවකි.

2001 වසරේ රනිල් අගමැති ධුරයට පත් වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඝෘණ අගයක්ව(-1.5%) පැවැති වාර්ෂික ආර්ථික වර්ධනය දෙවසරක් තුළ දී 5.5% ශීඝ්‍ර වර්ධනයක් කරා ගෙන ඒමට රනිල් සමත් වී තිබිණි. රටේ එම සංවර්ධන ගමන් මඟ වෙනස් කළේ 2003 නොවැම්බර් මස 4 දා චන්ද්‍රිකා ජනාධිපතිනිය ගත් තීරණයයි. ඇය සිය විධායක බලතල යොදා ගනිමින් අමාත්‍යාංශ තුනක් තමා වෙත පවරා ගත්තාය. ඒ රනිල් වික්‍රමසිංහ අමෙරිකාවේ නිල සංචාරයක නිරත වෙමින් තිබියදීය.

දින තුනකට පසු රනිල් ආපසු සිය රටට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යාංශ පවරා ගැනීමට විරෝධය පළ කරමින් කටුනායක ගුවන් තොටුපොළ අවට අති විශාල ජනතාවක් රැස්ව සිටියේ රනිල්ට සහාය පළ කරමිනි. ඔහු කොළඹට එන මාර්ගයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැස්කමින් අමාත්‍යාංශ පවරා ගැනීමට විරෝධය පළ කරන්නට වූහ. අතරමඟ කීප තැනකම රනිල් වාහනයෙන් බැස ජනතාව අමතමින් ප්‍රකාශ කළේ සාමකාමී වන ලෙසත් කිසිදු ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නොයෙදෙන ලෙසත්ය. එදින කටුනායක සිට කොළඹට ඒමට රනිල්ට පැය 9ක් ගතවිය. ඒ මහජන උද්යෝගය එදා කැරැල්ලක් දක්වා වර්ධනය කර ජනපතිනියට එරෙහිව අරගලයක් බවට පත් කර ගැනීමට රනිල්ට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ රනිල් අවස්ථාවාදී නොවිණි. වීථි සටන් සහ අරගල ඔහුගේ දේශපාලනය නොවිණි.

ආරක්ෂක අමාත්‍යාංශය චන්ද්‍රිකා යටතට පවරා ගැනීම නිසා සාම සාකච්ඡා ඉදිරියට පවත්වා ගැනීම රනිල්ට අපහසු විය.

2004 ජනවාරි 20 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟතා ගිවිසුමකට එළැඹිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි වූයේ එලෙසිනි. චන්ද්‍රිකා ජනාධිපතිනිය පෙබරවාරි 7 දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවූවාය. හදිසි මැතිවරණය නිසා රනිල් ආරම්භ කර තිබූ සංවර්ධන වැඩසටහන් නවතා දැමීමට සිදු විය. රටේ අස්ථාවර බව නිසා ජාත්‍යන්තරයෙන් ලබාදීමට පොරොන්දු වී‌ තිබූ ආධාර මුදල් ලබාදීම අත්හිටුවිය.

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී රනිල්ට අගමැති ධුරය අහිමි විය. ඔහු 2001 දී භාර ගෙන‌ තිබූ අභියෝග ජයග්‍රහණය දක්වා ගමන් කරවීමට බාධා පැමිණියේ එලෙසිනි.

රනිල් වික්‍රමසිංහ දෙවැනි වතාවට යළිත් ඒ අභියෝගය භාර ගත්තේ 2015 දීය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වෙද්දී රනිල් තෙවැනි වතාවටත් අගමැති වූයේ ඩඩ්ලි සේනානායකගේ වාර්තාව සම කරමිනි.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති අවුල් සහගත තත්ත්වයකට පත් වී තිබූ අතර රට දැඩි ආර්ථික සම්බාධකවලට බඳුන් වීමේ අවදානමකට ද ලක් වී තිබිණි. එමෙන්ම පෙර අපගේ මිත්‍රශීලී රටවල්වලින් ලද සීමිත ආධාරවලින් පමණක් සෑහීමට පත්වෙමින් අපට තනිවම අපගේ ආර්ථිකය මෙහෙයවීමට සිදුවිය. නාස්තිය හා දූෂණය ඇදහිය නොහැකි මට්ටමකට ළඟාවී තිබුණු අතර සෘණාත්මක ක්‍රමවේද ක්‍රියාවට නැංවීම නිසා ඒවායේ දුර්විපාක විඳීමට සිදුව තිබිණි.

රනිල් අගමැතිවරයා ලෙස වගකීම් භාර ගත්තේ මෙවන් වූ දේශයකය. එම වගකීම් ඉටු කිරීම සඳහා ඔහු පිහිටුවූයේ යහපාලන ආණ්ඩුවකි. රට ආර්ථික වශයෙන් සුරක්ෂිත කර තරුණ පරපුරේ හෙට දවස ගොඩනඟා දීමට නිශ්චිත වූත් පැහැදිලි වූත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති රනිල් සතු විය.

ඒ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබා සිටි අපකීර්තිය දුරලමින් කීර්තිමත් දේශයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීම ඇති කිරීමට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට හැකි වීම ඔහු ක්‍රියාත්මක කළ දින සියයක වැඩපිළිවෙළ තුළ දී ලබා ගත් සුවිශේෂි ජයග්‍රහණයකි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් 17 වැනි සංශෝධනයේ වූ ප්‍රධාන ප්‍රතිපාදන ඉවත් කෙරිණි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ස්වාධීන කොමිෂන් සභා ද පත් විය. තොරතුරු දැන ගැනීමේ පනත හඳුන්වා දෙනු ලැබිණි.

කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් සඳහා ගම්පෙරළිය, ව්‍යවසායකත්ව සමාජයක් පිහිටුවීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. 2015 දී රනිල් රට භාර ගන්නා අවස්ථාවේ දී ණය ගෙවා ගැනීමට බැරි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබිණි. ඔහු ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළින් 2018 වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දශම 6ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය. ණය ගෙවීම් ආරම්භ කෙරිණි. රට ඉපයූ මුදලින් සංවර්ධන කටයුතු ආරම්භ කළ අතර ණය ගැනීම් කළේ පොලී ගෙවීම් සඳහා පමණි. ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි වෙමින් තිබියදීත් උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි විණි. අපනයනය සහ ඍජු විදේශ ආයෝජනවල ඉහළම වර්ධනයක් 2017 වසරේ දී වාර්තා වී එය 2018 දී තවත් වර්ධනය විය.

වැටී තිබුණු ආර්ථිකය ගොඩ ගැනීමට රනිල් පියවරෙන් පියවර ඉදිරියට ගමන් ගනිමින් සිටිය දී 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුව වෙනස් වීමෙන් එම ගමන් මඟට බාධා ඇති විණි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවක් මඟින් යළි රජය භාරගත් රනිල් දේශපාලන කුමන්ත්‍රණය නිසා ඇති වූ හානියෙන් වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ගනිමින් ආර්ථිකය යළි ස්ථාවරභාවයට පත් කර ගැනීමට සමත් විය.

ආර්ථික සුරක්ෂිත බවට වඩා ජාතික ආරක්ෂාව ජනතාව අපේක්ෂා කළ බව වැටහුණේ 2019 දී පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින්. එම වසරේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දේශපාලන පොර පිටියේ මාර්කට් වූයේ ජාතික ආරක්ෂාවය. ආර්ථික ස්ථාවරත්වය අමතක කළ 69 ලක්ෂයක් වූ ජනතාව රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවා යළි රාජපක්ෂ ආණ්ඩුවක් ගෙනාවේය.

එය මෑත කාලීන අතීතයයි. එහි මතක සියලු දෙනාම සතුය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය. අලුතින් පැනවූ බදු සහන මගින් රටේ ලක්ෂ 18ක් බදු ගෙවූ අය ලක්ෂ 4ක් දක්වා පහත වැටීමෙන් රටේ ආදායම පහළ ගියේය. නැවතත් ආර්ථිකය බලා සිටිද්දී වළපල්ලට ගියේය. කොරේ පිටට මරේ කියා කොරෝනා වසංගතය ද පැමිණියේය. රට බංකොලොත් බව ප්‍රකාශයට පත් විය. ණය ගෙවා ගැනීමට බැරි රටක් ලෙස නැවත වතාවක් ශ්‍රී ලංකාව පත් විය. ජන අරගලය වීථි බැස්සේය.

රනිල් වික්‍රමසිංහ පස් වැනි වතාවටත් අගමැති වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමත් සමඟය. ඉන් අනතුරුව පසුගිය වසරේ ජූලි මස රනිල් විධායක ජනාධිපති ධුරයට පත් විය. එවකට රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්ව තිබිණි. ඔහු අගමැති ධුරය භාර ගත් දින සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ රට ගොඩ ගැනීමට ඉදිරිපත් වූ එකම වැඩපිළිවෙළ විය. විකල්ප වැඩපිළිවෙළක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස ඔහු විපක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියත් එවැන්නක් ඉදිරිපත් කළ අයෙක් නැත. අභියෝගය භාර ගත්තේ රනිල්ය. මෙවර අභියෝගය සාර්ථකව ජය ගනිමින් සිටී‍. උද්ධමනය පහළ ගොස් තිබේ. විදේශ විනිමය ප්‍රේෂණ වැඩි වී තිබේ. දුෂ්කර සහ සංකීර්ණ තත්ත්වයක් මැද පසුගිය මාස අටක පමණ කාලයේ රට යම් සාධනීය තත්ත්වයකට රැගෙන ඒමට ඔහු සමත් වී සිටී.

රනිල්ගේ මේ ගමන ඉවසා ගත නොහැකි පිරිස් උද්ඝෝෂණ කරති. වැඩ වර්ජන කරති. ඒ රනිල් අභියෝගය දිනූ විට ඔවුනට දේශපාලන අනාගතයක් නැති බව දන්නා නිසාය. රට ගොඩ ගැනීමේ ගමන යෑමට එක් වෙන්නැයි රනිල් විපක්ෂය ඇතුළු සියලු බලවේගවලට නොයෙක් වර ආරාධනා කළේය.

වසර 25ක් සඳහා වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති රාමුවක් බිහි කිරීමට එකතු වන්නැයි රනිල් විපක්ෂයට ආයාචනා කළේය. එහෙත් රනිල් දිනුවොත් රට දිනා තමන් පරදින බව දන්නා බලවේග නෑසූ කන්ව සිය දේශපාලනයේ නිරතව සිටිති.

2022 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%ක් වූ අපේ රටේ ආදායම සියයට 15% දක්වා වැඩි කර ගැනීම රනිල්ගේ බලාපොරොත්තුවයි. රටේ ආදායම ස්ථාවර මට්ටමකට නංවා ගෙන මේ වසරේ තුන්වැනි කාර්තුවේ දී රජයේ සේවකයන් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් දීම රනිල්ගේ බලාපොරොත්තුවයි.

විදේශ සංචිත ඩොලර් බිලියන දෙකක් දක්වා වැඩි කර ගැනීමට සමත් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය ආධාර මුදල් ලබා ගැනීම සඳහා රනිල් සකස් කළ වැඩපිළිවෙළ එම අරමුදල විසින් පිළිගෙන හමාරය. එහි පළමු වාරිකය ඩොලර් මිලියන 320ක පළමු ණය මුදල අද ලැබීමට නියමිතය. අමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා ගනිමින් විස්තීර්ණ ණය පහසුකම් යටතේ රනිල් ඉදිරිපත් කළ වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව පසුගිය 20 දා අනුමැතිය දුන්නේ එම ආයතනයෙන් පමණක් නොව තවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙමිනි. රනිල්ගේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළි ගැනීමත් සමඟ අප රටට තිබුණු බංකොලොත් ලේබලය ගැලවී ගියේය.

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන ලෙස රනිල් පැවසුවේ 2020 සිටය. ඒ වන විට මහ මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කර තිබූ රනිල් කියූ දෙය ආණ්ඩුව පිළිගත්තේ නැත‍. එදා ඔහු කී දෙය ඇසුවා නම් රට බංකොලොත් වෙන්නේ නැත‍. කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් එජාපට ඡන්දය දුන් ලක්ෂ දෙක හමාරක ජනතාවට මුළු රටම ණය ගැතිය. ඒ ලක්ෂ දෙක හමාර නොවන්නට අද රට බේරා ගන්න රනිල්ට ඉඩ ලැබෙන්නේ නැත.

නව අදහස දක්වන්න