ආයෝජකයන්ට සුබවාදි ව්‍යාපාර පසුබිමක් රටේ හදන්න ශ්‍රී ලංකාව මෑතකදී වැදගත් පියවර රැසක් ගත්තා | දිනමිණ

ආයෝජකයන්ට සුබවාදි ව්‍යාපාර පසුබිමක් රටේ හදන්න ශ්‍රී ලංකාව මෑතකදී වැදගත් පියවර රැසක් ගත්තා

ටෝකියෝ නුවරදී ව්‍යාපාරික සාකච්ඡාවකට එක් වෙමින් ජනපති රනිල් පවසයි

ආයෝජකයන්ට වඩාත් සුබවාදි ව්‍යාපාර පසුබිමක් රටේ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජනවලට ඇති අවස්ථා‘ යන මැයෙන් ඊයේ (26) පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක් වෙමිනි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මේ හමුව සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළේය. අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බළකාය ජපාන සමාගම්වලට කලාපයේ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කරගැනීමේ ජනාධිපතිවරයාගේ කැප වීම මේ ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ හමුවකට ද එක්විය. ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ ඇමැති ටාරෝ කෝනෝ මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙනයෑමේ වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ අතර, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අගමැති ට්‍රාන් ලූ ක්වාන්ග් (Trần Lưu Quang) මහතා අතර සාකච්ඡාද ටෝකියෝ නුවරදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව එහිදී නායකයන්ගේ අවධානය යොමු විය.

නව අදහස දක්වන්න