ජනපතිගේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියට ජපානය සහාය දක්වනවා | දිනමිණ

ජනපතිගේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියට ජපානය සහාය දක්වනවා

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක

  • බුදුදහම හා කෘෂිකර්මය අ‍පේ මිත්‍රත්වයේ පදනමයි
  • ජපානය අමෙරිකාව හා සමානව අපට සැලකුවා

ජපානය හා ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර මේ වන විට වසර 70කට වඩා වැඩි කාලයක් ගතව ඇත. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ඉතා විශිෂ්ට තත්ත්වයක පැවැති දෙරටේ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව තිබෙන ආකාරය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා මෙසේ පැහැදිලි කරයි.

 සමාජ, සංස්කෘතික හා ආර්ථික වශයෙන් සලකා බලන කල ලෝක සිතියමේ අන් කවර රටකටත් වඩා ජපානය අපට සමීප යැයි ඔබ අදහස් කරන්නේ ඇයි?

අපේ රට ආසියාතික ලෝකයේ බටහිර කෙළවරේ පිහිටා තිබෙන රටක්. ජපානය ඈත පෙරදිග කෙළවරේ පිහිටා තිබෙන රටක්. දෙකෙළවරේ පිහිටා තිබුණත් මේ දෙරටට පොදු කරුණු තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත් විට බත් ආහාරයට ගැනීම ආසියානු සංස්කෘතියේ පොදු ලක්ෂණයක්. සහල, බැත හා කෙත මූලික කරගත් මෙම සංස්කෘතිය ජපන් බසින් 'ඉනසකු බුන්කා' නමින් හඳුන්වනවා. මේ සංස්කෘතික ලක්ෂණය අපට මෙන්ම ජපානයටත් පොදුයි. ජපානය තාක්ෂණය හා කර්මාන්ත පදනම් කරගත් රටක් කියලා බැලූ බැල්මට හිතෙන්න අපට පුළුවන්. නමුත්, ඒ අදහස වැරැදියි. ජපන් රට හා ජන සමාජය පදනම්ව තිබෙන්නේ කෘෂිකර්මය මතයි. මේ මත පදනම්ව රටක් දියුණු කිරීම සඳහා කෘෂි කර්මාන්තයෙන් ගත හැකි දායකත්වය ගැන ජපන් සමාජයෙන් අපට අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කාරණය බුදු දහමයි. බුදුදහම හා කෘෂිකර්මය මධ්‍ය කර ගත් සංස්කෘතිය අප දෙරට අතර මහා පොදු සාධකය බවට පත්ව තිබෙනවා.මේ අනුව ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේ නම් ඒ ජපානයයි.

සාපේක්ෂව බැලූ විට ජපානයේ බොදුනු ජනගහනය අඩුයි නේද?

අපි ජපන් ජාතිකයන් සියදෙනකු තෝරාගෙන ඔවුන්ගේ ආගම කුමක්ද කියා ඇසුවොත් ඔවුන්ගෙන් 90%ක් නිසැක ලෙසම ආගමක් නැහැයි කියලා උත්තරය දෙන්න ඉඩ තිබෙනවා. ඒකට හේතුව ඔවුන් බුදුදහම සලකන්නේ ආගමක් ලෙස නොවෙයි දර්ශනයක් විදියටයි. මේ රටවල් දෙකම ගමන් කරන්නේ එකම සංස්කෘතික ප්‍රවාහයක් අනුව බව අප වටහා ගත යුතුයි. ජපානයට ක්‍රි.ව. 553දී බුදුදහම ගෙන ගිය බෝධිධර්ම හිමි ශ්‍රී ලාංකික භික්ෂුවක් කියලා විශ්වාසයක් තියෙනවා. එවැනි ඈත සම්බන්ධයක් අප අතර තිබෙනවා. ඒවගේම භාෂාත්මක සමානකමක්ද තිබෙනවා.

ජපානය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ඇරුඹුණේ 19952දි. 1951දී සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජයවර්ධන මහතා කළ ඓතිහාසික කතාව මේ සම්බන්ධයට බලපාන්නෙ කොහොමද?

1951 වර්ෂයේ සැප්තැම්බර් 6දා සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර යුද අනුස්මරණ ඔපෙරා ශාලාවේ පැවැති සාම සමුළුව අද පවතින ලෝක දේශපාලනය වෙනස් කිරීමට තුඩුදුන් සාධකයක්. මේ සමුළුවේදී ජපානය හා ජර්මනිය එක පැත්තක් විදියටත් අනෙක් සියලුම රටවල් වෙනම කඳවුරක් විදියටත් පෙනී සිටියා. මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන හා ඇමැති ආර්.ජී. සේනානායක සහභාගී වුණා. එහිදි ජපානයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන්න සියලු රටවල් පෙළ ගැසී සිටියා. ‍

එහිදී ජේ. ආර්. ජයවර්ධන මහතා " වෛරය මෛත්‍රීයෙන් සංසිඳවිය යුතුය" කියන බෞද්ධ දර්ශනය මත පදනම්වූ ඓතිහාසික කතාවක් කළා. ඒ කතාව කළ ජයවර්ධන මහතාගේ ඥාතී බෑනා කෙනකු මේ අවස්ථාවේ රාජ්‍ය නායකයාවීම දෛවයේ හාස්කමක්. මෙය රටක් විදියට ජපානයට අප ගැන තිබෙන ආදරය වැඩිකර ගැනීමට හා අපට වැරදුණු සමහර තැන් නිවැරැදි කර ගන්න ලැබුණු අවස්ථාවක්.

ජපන් ජාතිකයන් අපේ රට බොහොම ආඪ්‍ය රටක් විදියට සැලකූ බව අමෙරිකානු තානාපති කාර්යාලයට සමීප තැනක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමෙන් පෙනෙනවා. අපේ තානාපතිවරු මේ සම්බන්ධය ඉදිරියට අරන් ගියා. ජපානයේ අපේ පළමු තානාපතිවරයා වන සුසන්ත ෆොන්සේකා මහතාගේ ස්මරණ ඵලකයක් ෆුකුසිමා නුවර ඉදිකර තිබෙනවා. " අපට ටෝකියෝ නුවරට යන්න සපත්තු මේස් අරන් දුන්නේ මේ තානාපතිවරයා" කියන වැඩිහිටි ජපන් ජාතිකයන් මට ෆුකුසිමාවලදී හමුව තිබෙනවා.

නමුත්, පසුගිය කාලයේදී අපේ ආර්ථික සැලසුම්වලදී නොබැඳි ප්‍රතිපත්තිය ගිලිහී ගියා. අපේ ආර්ථික, විදේශ ප්‍රතිපත්තිවල සමබර බව බිඳීයෑම නිසා ජපානය පසුගිය කාලයේ අපෙන් ඈත් වුණා. හොඳම උදාහරණය මොනෝ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. එතැනදි පුරවැසියන් හැටියට අප රට වෙනුවෙන් කරුණු දැක්වූවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ගමනේදී ඔවුන්ට කනගාටුව ප්‍රකාශ කර රටේ කීර්තිනාමය තහවුරු කළ බව මට දැන ගැනීමට ලැබුණා.

ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදි සුවිශේෂ පරිත්‍යාග කිහිපයක් අපේ රටට ලැබුණා නේද?

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට විශ්‍රාම ගිය පසු ජපානයේ ගෞරවනීය පුරවැසියකු හැටියට ඒ රටේ ජීවත් වෙන්න එන්න කියලා අකිහිතො අධිරාජ්‍යයා ආරාධනාවක් කළා. එම ආරාධනාව ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔහුට කරන තුටු පඬුරක් හැටියට ජයවර්ධනපුර රෝහල පරිත්‍යාග කළා. ඒ රෝහලේ ඔවුන් ජයවර්ධන ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ කාමරයක් වෙන් කළා. මේ ආකාරයට ඒ පාලන කාලයේදී පරිත්‍යාග හැටියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැඟිල්ල ලැබුණා.

මෙයට අමතරව මහාමාර්ග, කර්මාන්ත ශාලා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උදව් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් අප අර්බුදයන්ට මුහුණදුන් සෑම අවස්ථාවකම ආහාර, පෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව යන ක්ෂේත්‍රවලින් ඥාති හිතවතකු හැටියට ජපානය උදව් කළා.

ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ තිබෙන ඥාතීත්ව, ප්‍රතිපත්තිමය සම්බන්ධයත් එක්ක පළුදුවූ දෙරටේ මිත්‍රත්වය නිවැරැදි කළ හැකි එකම නායකත්වය හැටියට වර්තමාන ජනාධිපතිවරයා සලකන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට ජපානයෙන් විශාල සහායක් ලැබී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජපානය මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කළා. මේ සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?

ජපානය අපට හැම විටම උදව් කළේ ඔවුන්ගේ දේශපාලනය, ආර්ථිකය මේ රටේ වගා දිගා කරගන්න නෙමෙයි. සුහද මිතුරකුට කරන උදව්වක් විදියටයි. ඔවුන් අපට ණය ආධාර දුන්නේ දිරි ගැන්වීම සඳහායි. ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහනේ (Official Development Assistance (ODA)) මූලය වුණේ අළු මතින් නැඟී සිටීමේ එරට ඉතිහාසයයි. ඔවුන් ශ්‍රී ලංකාවට දෙන ආධාර සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක්.

දිගු කාලීන විශ්වාසී මිතුරකු ලෙස සංවර්ධන කටයුතු සඳහා හා ජාතිය ගොඩනැඟීමේ කටයුත්තට ජපානය දැක්වූ දායකත්වය ඔබ දකින්නේ කොහොමද?

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානය දෙරට අතර සබඳතා දියුණු කිරීමට මැදිහත් වෙන ප්‍රධාන සංවිධානයක්. ජපානයේ හිටපු අගමැති යසුඔ ෆුකුදා මහතා එහි මූලිකත්වය ගන්නවා. පසුගිය කාලයේදී ඔහු පුදුම විදියට අපේ රටට උදව් කර තිබෙනවා. එල්ටීටීඊ යුද්ධය පැවැති අවස්ථාවේ ඔහු අපේ රට වෙනුවෙන් එරට මැතිසබයේ හා දේශපාලන ක්ෂේත්‍රයේ හඬක් නැඟුවා. ඒ වගේම දිවංගත අගමැති ෂින්ශෝ අබේ මහතා හා වත්මන් අගමැති ෆුමිඕ කිශිදා මහත්වරු ඒ සම්ප්‍රදාය ඉදිරියට අරන් යන අය විදියට හඳුන්වන්න පුළුවන්.

එල්ටීටීඊ යුද්ධය පැවැති අවස්ථාවේ සමහර විදේශ රටවල සහාය මුළුමනින්ම නොලැබුණු අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවලදි එම අසමතුලිත බව මඟහැරවීමට යසුෂි අකාෂි, යසුඔ ෆුකුදා වැනි අය අපේ රට වෙනුවෙන් පෙනී සිටිමින් විශේෂ දායකත්වයක් දැක්වූවා. ‍මේ සියල්ලමත් වඩා අප මුහුණදුන් සෑම දුෂ්කර අවස්ථාවකම ජපන් ජන සමාජය අප සමඟ එකට හිටියා.

ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේදී මේ මිත්‍රත්වය නැවත ශක්තිමත් කර ගැනීමට සමත්වීම වැදගත් කරුණක් හැටියට මා සලකනවා.

2 වැනි ලෝක යුද්ධයෙන් පසු මුළුමනින්ම බිඳවැටී සිටි රටක් වූ ජපානය පසුව ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබුවා. අපේ ආර්ථික දියුණුවට ඔවුන්ගේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික මාදිලිය අදාළ කර ගත හැක්කේ කොහොමද?

ජපානයේ ක්‍රියාත්මක වන ආර්ථික චින්තනයේ හා ජයවර්ධන - වික්‍රමසිංහ චින්තනයේ පදනම නව ලිබරල්වාදයයි. මේ චින්තන මාදිලි තුනම ඒකාකාරී ලෙස සමානයි. 78දි අපේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් කරමින් ජයවර්ධන ජනාධිපතිවරයා ආර්ථික පුනරුදයකට පියවර ගත්තා. ආර්ථිකයේ බොහෝ අංශ රාජ්‍ය ව්‍යවසායෙන් වෙන්කර පෞද්ගලික අංශයට යොමු කළා. ආර්ථිකයේ වැදගත් කොටසක් බවට පෞද්ගලික අංශය පත්කිරීමෙන් ජපානය ශීඝ්‍ර දියුණුවක් ලබා තිබෙනවා. නමුත්, අපේ රටේ පෞද්ගලික ව්‍යවසාය සම්බන්ධයෙන් තිබෙන්නෙ අමිහිරි අතීතයක්. එයට හේතුව අපේ රටේ නිලධාරීන් හා දේශපාලනඥයන් පෞද්ගලීකකරණයේදී අනුගමනය කළ වැරැදි ආකාරයයි.

අපේ රටේ පෞද්ගලීකකරණ ක්‍රියාදාමය තුළ ජනතා කේන්ද්‍රීය නොවී ව්‍යවසායකයන් කේන්ද්‍රීයවීම නිසා ගැටලු මතුව තිබෙනවා. නමුත්, ජපානය වැනි රටවල දුම්රිය, බස්, ගුවන් සේවය වැනි සෑම අංශයක්ම පෞද්ගලීකකරණයෙන් ජනතාවට සුඛවිහරණ ලැබෙන ආකාරයට සකස්ව තිබෙනවා.

නමුත් පෞද්ගලීකකරණ කියන්නේ තරගකාරීත්වය තුළින් ජනතාවට සහන ලැබෙන තත්ත්වයක්. රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශය නිවැරදි ආකාරයට ආර්ථිකයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන බව ඉන්ධන බෙදාහැරීම පෞද්ගලීකකරණ කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. එය ජපානයේ පවතින ක්‍රමයට සමානයි. තරගකාරී ක්‍රමයකට ගිය විට එකම නගරයක තියෙන පිරවුම්හල් 4ක මිල ගණන් තරගකාරී ආකාරයට වෙනස් වෙනවා. වාහන හිමියන්ට ලැබෙන සත්කාරක සේවා වැඩි වෙනවා. එහි ලාභය ජනතාවට ලැබෙනවා. ජනාධිපතිවරයා අනුගමනය කිරීමට උත්සාහ කරන ක්‍රමය ගැන ජනතාව අවබෝධ කර ගැනීම වැදගත්.

කෘෂිකර්මය සම්බන්ධයෙන් ජපානය අනුගමනය කරන ක්‍රමය අප රටටත් අදාළ කර ගන්න පුළුවන්. ජපානයේ සක්‍රීයව ක්‍රියාත්මක වන ගොවි සංවිධාන ක්‍රමයක් තිබෙනවා. උතුරු නැඟෙනහිර පළාත්වල නව කෘෂිකාර්මික සහයෝගීතා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ජනාධිපතිවරයාට තිබෙනවා. එවිට නව තක්ෂණික භාවිතය හා සංචාරක ව්‍යාපාරය නැංවීමෙන් මේ පළාත්වලින් ආර්ථිකයට වැඩි දායකත්වයක් ගන්න පුළුවන්. මේ ඔස්සේ දියුණු ආර්ථිකයක් ඇති කළ හැකියි. රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර අගමැතිවරයකු හැටියට කටයුතු කළත් ඒ අවස්ථාවල ඔහුට පූර්ණ බලතල තිබුණෙ නැහැ. නමුත්, විධායක ජනාධිපතිවරයා හැටියට ජපානය සමඟ සම්බන්ධතා දියුණු කර ගැනීම තුළ විශාල පෞර්ෂයක් අපට දැකගන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු පසුගිය සැප්තැම්බරයේ මුල්වරට ජපානයේ නිල සංචාරයකට සහභාගී වුණා. කෙටි කාලයක් තුළ ඔහු නැවත වරක් එරට සංචාරය කිරීමෙන් කලාපීය වශයෙන් ජපානයට වැඩි බරක් තබන බව තහවුරු වෙනවද?

ජනාධිපතිවරයාගේ පළමු ජපන් සංචාරය ඔහුට අවශ්‍යය ආකාරයට සම්පාදනය කළ එකක් නෙමෙයි. එය ජපානයේ හිටපු අගමැති ෂින්ශෝ අබේගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම වෙනුවෙන් කළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක්.

නමුත්, මේ සංචාරය හිරෝෂිමාහි පැවැත්වෙන ජී 7 සමුළුවට සමගාමීව සිදුවන්නක්. මේ සංචාරයේදී ජනාධිපතිවරයා දේශපාලන නායකත්වයට අමතරව ස්වේච්ඡා සංගම්, වෙළෙඳ සංගම්වල නියෝජිතයන් හමු වුණා. මේ සමුළුවේදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට සියලුම රටවල සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා සමත් වුණා.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ සමුළුවේදී ඔහු පැවැත්වූ දේශනය අප රට පිළිබඳ අයහපත් චිත්‍රය වෙනස් කිරීමට බලපෑ බව මා විශ්වාස කරනවා. ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළා. එයට අමතරව ටෝකියෝ නුවර පැවැති “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව " අමතා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් කළා. මෙම නික්කෙයි ඒශියා සමුළුවේදී ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන හා රටවල් අතර පවතින විවිධත්වය අවබෝධ කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කළා. මේ සමුළුවට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වු නිසා අපේ රටේ ප්‍රතිරූපය තහවුරු කළ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්.‍‍

ඒ වගේම මේ ගමනේදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ, තායිලන්තයේ, වියට්නාමයේ නියෝජ්‍ය අගමැතිවරුන් හා මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ඇතුළු ලෝක නායකයන් සමඟ සාකච්ඡා පවත්වනවා. ඒ නිසා මේ සංචාරය ආසියානු සම්බන්ධතා අලුත් කළ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්. මේ සංචාරයේදී ජප­ානයේ විදේශ ඇමැති හයෂි යොෂි මෂා, මුදල් ඇමැති සුසුකි සූනිචි, ඩිජිටල් කටයුතු ඇමැති තරෝ කෝනො ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනවා. ඒ නිසා මේ සාකච්ඡා සාධනීය මැදිහත්වීමක් විදියට සලකන්න පුළුවන්.

චන්දන ජයවීර

නව අදහස දක්වන්න