අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි විශ්වවිද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂක ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය විසින් සම්මානයක් පිරිනමා තිබේ.
කොලොම්බියාවේ බොගෝටා නගරයේ පැවැති අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමයේ 101 වන සමුළුවේ දී කස්සප මහතාට මෙම සම්මානය ප්රදානය කර තිබෙන අතර ආචාර්ය ඇල්ලෙපොල මහතාගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50, 000 ක මුදලක් හෙලියොන් සමාගමේ මුල්‍ය පරිත්‍යාගයෙන්, අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය එහි දී පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.
ආචාර්ය ඇල්ලෙපොල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කැළණිය සරසවියේ ක්ෂුද්රජීව විද්‍යාව පිළිබද විශේෂවේ දී උපාධිධාරියෙකි. ඒ මහතා සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුවිසියානා ප්‍රාන්ත සරසවියෙන් සහ චිකාගෝහි ඉලිනොයි සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලබා තිබේ.
ආචාර්ය ඇල්ලෙපොල මහතා සහ ඔහුගේ උපදේශක මහාචාර්ය රසල් පෙසවෙන්තෝ එක්ව නිපදවු නව නැනෝ සංයෝගයක් වෙනුවෙන් මේ සම්මානය හිමිව තිබෙන අතර මෙම නැනෝ සංයෝගය ඌන ඛේටය ශ්‍රාවය නිසා හටගන්නා වියළි මුඛ කුහරයක් සහිත රෝගීන්ට ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට උපකාර වෙයි.
විශේෂයෙන්, විකිරණ චිකිත්සාව සහ රසායන චිකිත්සාවට ලක්වන පිලිකා රෝගීන් අතර ඌන ඛේටය ශ්‍රාවය හේතුවෙන් බහුලව සහ දිගුකාලීනව වියළි මුඛයන් දක්නට ලැබේ. මෙම රෝගීන්ගේ ඌන ඛේටය ශ්රාවයට අමතරව, ඛේටයේ වැදගත් සංඝටකයන්ගේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමක පවතින අතර මේ නිසාවෙන් ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය දැඩි ලෙස අවදානමට ලක්වන අතර කථනය, ආහාර ගිලීම, මුඛය තුළ කෘත්‍රීම සවිකරීම් රදවා ගැනීම අපහසු කරන අතර නිරතුරුව දන්ත කුහර ඇතිවීම, දිලීර ආසාදන සහ මුඛයේ තුවාල හටගැනීමට හැක.
වියළි මුඛයන්ට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ක්‍රමවේද එතරම් සාර්ථක නොවන අතර, එම ක්‍රමවේද ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් මෙන්ම අතුරු ආබාධයන් ඇතිවිය හැක. “අප නිපදවූ නව නැනෝ සංයෝගයෙන් මෙම තත්ත්වයන් මගහරවන අතරම, ඛේටයේ බැක්ටීරියා නාශක, දිලීරනාශක සහ ප්‍රතිඔක්සිකාරක හැකියාව ප්‍රතිස්ථාපනය කරමින්, දිගුකාලීන මුඛ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබාදීමට හැකි වෙනවා” යැයි ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතා පවසයි.