Wednesday, May 7, 2025
Home » භාවිතයේ නැති වාහන පද්ධතියෙන් ඉවත් කරනවා

භාවිතයේ නැති වාහන පද්ධතියෙන් ඉවත් කරනවා

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ

by thanushika
July 4, 2023 8:12 am 0 comment

සුභාෂිණී සේනානායක

ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ බලය තිබෙන්නේ පළාත් සභාවලටයි
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර දෙන්න බලාපොරොත්තු වෙනවා
වාහන ලක්ෂ 83ක් ලියාපදිංචි වී තිබුණත්, QR තිබුණේ වාහන ලක්ෂ 60කට පමණයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය සහ එහි ප්‍රගතිය නංවාලීම සඳහා සකස් කළ නව ක්‍රියාවලි සැලැස්ම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

l සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින්ට නිසි ලෙස සේවා නොලැබෙන බවට චෝදනා එල්ල වෙනවා?

මහ ජනතාවට පහසුවෙන් තම සේවාව කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ. සියලු නිලධාරීන් දැ‍නුවත් කර තිබෙන්නේ යම් ගැටලුවක් තිබේ නම් මෙහි පැමිණෙන කිසිවෙක් හරවා නොයවන ලෙසටයි. ඔවුන්ට සිය සේවාව ලබා දීමට නොහැකි නම් මා වෙතට යොමු කරන ලෙස මා සියලු නිලධාරින්ට උපදෙස්ද ලබා දී තිබෙනවා. ඔවුන්ට විසඳිය නොහැකි යම් ගැටලුවක් තිබෙන්නේ නම් සේවාව ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට එන ඕනෑම කෙනෙක් ආපහු හරවා යවන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ මා දැනුවත් කර බවද මා දැනුම් දී තිබෙනවා. මම හැම විටම කියන්නේ මෙම ස්ථානයට එන සෑම පුද්ගලයෙක්ගේම අවශ්‍යතාව ඉටු කළ හැකි වන පරිදි තම රාජකාරි වපසරිය සකස් කරගන්න කියලයි.

l මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට විවිධ ක්ෂේත්‍ර පාදක කර ගනිමින් මින් පෙර චෝදනා රැසක් එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කුමක්ද?

අපේ නාරාහේන්පිට ආයතනය පිහිටා ඇති වටපිටාව ගත්තාම එළියේ තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීමට එහි ලොකු අපහසුතාවයක් තිබෙනවා. වැරදි ආකාරයට කටයුතු කරන අය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පොලිසිය සමඟ එකතු වී කටයුතු කිරීමට බොහෝ වෙලාවට මම උත්සාහ කළා. ඒ අනුව මෙම ස්ථානයට පැමිණෙන අය පොලඹවා ගන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් පියවර ගන්න අප කටයුතු කර තිබෙනවා. එහිදීත් ගොඩක් සීමාවන් අපිට තිබෙනවා. පිටත සිටින කිසිවකුටත් කිසිදු ලියවිල්ලක් භාර නොදෙන ලෙස මේ වන විටත් ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් සවි කර පැය භාගයෙන් භාගයට නිවේදන නිකුත් කරනවා. ඒ වගේම විමසීමට යමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමසීම් කවුළුවට පැමිණ විමසන ලෙසටත් දැනුම් දුන්නා.

l ආදායම් බලපත්‍ර නැති වාහන සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද?

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරිමට තීරණයක් තවම දෙපාර්තමේන්තුව ගෙන නැහැ. එහෙත් මේ වන විට පරිගණක පද්ධතිය තුළ ලක්ෂ 83ක් වාහන ලියාපදිංචි වී තිබෙනවා. ඉන්ධන ගැටලුව සමඟ QR සඳහා ලියාපදිංචි වී තිබුණේ වාහන ලක්ෂ 60ක් පමණයි. තිබෙන වාහනවලින් විශාල ප්‍රමාණයක් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී තිබුණේ නැහැ. ඒ අනුව පළමු අදියර ලෙස එක දිගට වසර පහක් ආදායම් බලපත්‍රය ලබා ගෙන නැති වාහන මොනවාද කියා සොයා බලන්න අපි තීරණය කළා. ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ බලය තිබෙන්නේ පළාත් සභාවලටයි. සියලුම පළාත් සභාවලින් වසර 05ක් එක දිගට වාහන බලපත්‍ර ලබා නොගත් වාහන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මේ වන විටත් මා ඉල්ලා තිබෙනවා.

ඉදිරියේදී මෙම වාහන අසාදු ලේඛනගත කර දිස්ත්‍රික්කය පුරා සිටින මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම වාහන පරීක්ෂා කර බලා, ගැටලු විමසා භාවිතයේ නැත්නම් පද්ධතියෙන් ඉවත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

l ආබාධිත අය සම්බන්ධයෙන් රියැදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේද? එහි ප්‍රගතිය කෙසේද?

ඔව්. ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා මේ ආකාරයේ පුද්ගලයන්. මේ අය රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ලොකු ගැටලුවකට මුහුණ දී සිටිනවා. ඒ අය දිගු කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියා. මේ අවස්ථාවේ අමාත්‍යතුමා මෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙනුවෙන්ම කැබිනට් ප්‍රතිකාවක් සකස් කර කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ සඳහා ගම්පහ ප්‍රදේශයේ ශ්‍රවණාබාධයට පත් වූ සිය දෙනෙක් තෝරාගෙන විශේෂ නියාමක ව්‍යාපෘතියක් දියත් කර ඉන් සමත් වූ 40 දෙනෙකුට මේ වන විට රියැදුරු බලපත්‍රය ලබා දුන්නා.

එහි සාර්ථකත්වය මත දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට මේ පහසුකම ලබා දෙන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.

l රියැදුරු උපදේශකවරුන්ගේ හිඟයට ගෙන ඇති පිළියම් මොනවාද?

රියැදුරු උපදේශකවරුන්ගේ හිඟය රියැදුරු පාසල් පවත්වාගෙන යාමට ලොකු ගැටලුවක්ව තිබුණා. රියැදුරු උපදේශකරුවන් බඳවා ගැනීමේ විභාගය බොහෝ කාලයකින් පවත්වා තිබුණේ නැහැ. එම විභාගය අවසන් කර මේ වන විට ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම විභාගය සමත් වූ රියැදුරු උපදේශකයන්ට අදාළ බලපත්‍රය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. විභාග සමත් වන සියලුම දෙනා රිය­ැදුරු උපදේශකවරුන් ලෙස බඳවා ගන්නවා. රියැදුරු පාසල්වල ආධුනික රියැදුරන් පුහුණු කරන්නේ මේ අය.

l දුම් සහතික නිකුත් කරන ස්ථාන සම්බන්ධයෙන් බොහෝ ගැටලු තිබෙනවා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?

වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදල වැඩසටහනක් ලෙස ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ අපි ශ්‍රී ලංකාවේ ආයතන දෙකකට දුම් සහතික ලබා දීමේ බලය ලබා දී තිබෙනවා. මේ ප්‍රධාන ආයතන දෙකේ ශාඛා දිවයින පුරා 500කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි ඉල්ලීමක් යොමු කළහොත් අදාළ ස්ථානයට ජංගම සේවා ලබා දෙන්න කටයුතු කරනවා.

ඉදිරියේදී හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එ්කාබද්ධව කටයුතු කරන්න අවශය ගිවිසුම් අපි අත්සන් කර තිබෙනවා.

l රියැදුරන්ගේ විනය සම්බන්ධයෙන් විශාල ගැටලු රැසක් පවතිනවා. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද?

රියැදුරන්ගේ විනය සම්බන්ධයෙන් විශාල ගැටලු මේ වන විට මතුව තිබෙනවා. රියැදුරන්ගේ විනය සකස් කිරිම වැදගත්. මීට වඩා විධිමත් ආකාරයකට රියැදුරු බලපත්‍රය ලබා දීමට අපි කටයුතු සකස් කරමින් සිටිනවා. රියැදුරු පාසල්වලට තාක්ෂණීක පහසුකම් ලබා දීලා රියැදුරුවරයෙක් වාහනය පාරට දාන්න පෙර වාහනය පැදවීම පිළිබඳව යම් පුහුණුවක් ලබා දීමේ ක්‍රමවේදයක් සක්ස් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මේ වසර අවසන් වීමට පෙර අසාදු ලකුණු ක්‍රමවේදය හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මගී ප්‍රවාහනය තුළ මත්ද්‍රව්‍ය ගෙන ඇති රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය අහෝසි කිරිමට අදාළ නෛතික පියවර ගන්නවා.

l රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණය අසමත් වන අය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

ඒ අයට නැවත අයදුම් කළ හැකියි. මත්ද්‍රව්‍ය අරන් තිබෙන අයෙකුට මාසයක් කල් දෙනවා. ඒ කාලය තුළ නැවත ඔහු වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි. ඒ වගේම ආබාධිත අයෙකුට රියැදුරු බලපත්‍රය ලබා දුන්නේ වසර දෙකින් දෙකට. එය අපි ඉවත් කර ආබාධිත තත්ත්වයෙන් පසු වන අයෙකුට සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය වසර අටකටත් ආදී ලෙස පියවර ගෙන තිබෙනවා.

l රියැදුරු බලපත්‍රය ජංගම දුරකතනයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවාද?

ඕව්. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදු කරමින් පවතිනවා. මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කළ පසුව රියැදුරු බලපත්‍රයක් සඳහා කාඩ් පතක් අවශ්‍ය වන්නේ නැහැ. එය ජංගම දුරකතනයට ලබා දෙන අතර, අවශ්‍ය පුද්ගලයෙකුට කාඩ්පත ද ලබාගත හැකියි. මේ දිනවල රියැදුරු බලපත් මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයක් පවතින්නේ එහි යෙදවුම්වල ගැටලුවක් හේතුවෙන්.

එය ඉදිරි මාස හයක පමණ කාලය ඇතුළත සමනය වේවි. ජංගම දුරකතනයට රියැදුරු බලපත්‍රය ලබා දුන් පසුව එය වඩාත් පහසු වනවා.

l වාහනවලට අදාළ අංක තහඩු විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබෙනවාද… ඒ ඇයි?

ඔව්. වාහන විකිණීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමියාට නිකුත් කරන, එහෙත් වාහන හිමියන් විසින් රැගෙන නොගිය අංක තහඩු 50000ක් පමණ පරිසරයට හිතකර නොවන අයුරින් එකතු වී තිබෙනවා. මින් පසුව පළාත්වල ලියාපදිංචි වන අක්ෂරය ඉවත් වනවා. දැනට නිකුත් කර තිබෙන වාහනවල පළාත් අක්ෂරය ඉවත් වෙනවා. යම් පළාතක නිකුත් කර ඇති වාහනය විකුණුවහොත් ඉන් පසු ලැබෙන අංකයට අක්ෂරය එන්නේ නැහැ. ඇතැම් වාහන විකුණුව ද ඊට ලැබෙන අංක තහඩු වාහන හිමියන් විසින් ලබා ගෙන යන්නේ නැහැ. මේ වන විට භාවිත කරන අංක තහඩු ඒ ලෙසම භාවිත කළ හැකියි.

මේ තත්ත්වය වැළැක්වීම සහ ඊට වැය වන වියදම් අඩු කිරීම සඳහා වාහන අංක තහඩුවල මෙතෙක් පැවැති පළාත් අක්ෂරය වෙනස් කිරීමට පියවර ගනු ලැබුවේත් මේ නිසයි. මෝටර් රථයක් පැවරීමේදී සම්පූර්ණ කළ යුතු පිටු 24 යුත් පොරමය පිටු 12න් යුක්තව නිකුත් කිරීමට ද පියවර ගනු ලැබුවා. මේ සියලු බලපත්‍ර එකක් ලෙස සකස් කර QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් ලබා දීමට අපි පියවර ගන්නවා. අලුත් කරන රියැදුරු බලපත්‍ර සඳහා නව QR කේතය සහිත රියැදුරු බලපත්‍ර ලබා දීමටත් කටයුතු කරනවා.

l ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රයට විශාල පිළිගැනීමක් තියෙනවා නේද?

ඔව්. අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා එංගලන්තය සමඟ අපේ රටේ රියැදුරු බලපත්‍රය සමාන සේ සලකා කටයුතු කරන්නට. අපි මේ සඳහා අවශ්‍ය මූලික කටයුතු අවසන් කර අදාළ ගිවිසුම අවසන් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. මේ ලෙසම ඉතාලිය සමඟත් ගිවිසුම්ගත වෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කර තිබෙනවා. ඉදිරියේදී අනෙකුත් රටවල් සමඟත් ගිවිසුම් ගත වෙන්න අපි සූදානමින් සිටිනවා. මේ සඳහා අපිට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම විදේශ සංචාරකයන්ට රියැදුරු බලපත්‍රයක් අවශ්‍ය නම්, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් පිටතට පැමිණීමේදී ගුවන්තොටුපළේදීම ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා. දැනට වේරහැර ඒ සඳහා පහසුකම් තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය වන්නේ වලංගු විදේශ ගමන් බලපත්‍රය, අදාළ රටේ රියැදුරු බලපත්‍රය සහ අපේ රටේ රැඳී සිටීමට අවශ්‍ය වීසා පමණයි. ඒ සඳහා රුපියල් 20,000ක මුදලක් අය කරනවා. දැනට මාසික තාවකාලික රියැදුරු බලපත්‍රයක් සඳහා අය කරන්නේ රුපියල් 2,000ක් පමණයි.

l පරිසරය සුරැකීමට ආරම්භ කළ වායු විමෝචන වැඩසටහනේ ප්‍රගතිය කොහොමද?

වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු කළ කමිටුව පසුගියදා ඇගයීමට ලක් කරනු ලැබුවා. එහිදී වායු විමෝචන වැඩසටහන සඳහා එක්ව සිටින ප්‍රධාන ආයතන දෙක වන ලාෆ් ආයතනය සහ ඩ්‍රයිව් ග්‍රීන් ආයතන දෙක මෙම කමිටුව ඇගයීමට ලක් කිරිම සඳහා දායකත්වය ලබා දුන්නා. වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ මෙම කමිටුවේ සිටි විද්වතුන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉතා වෙහෙස මහන්සියෙන් ඒ අය කටයුතු කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි වායු විමෝචන පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණේ. මේ වන විට අපි වායු විමෝචනය සම්බන්ධයෙන් එක් පරිච්ඡේදයක් පසු කර අවසන්. අපි අඳුරේ සිට තොරතුරු ගනිමින් ගත කරපු කාලයක එම පිරිසගේ දායකත්වයෙන් එකතු කළ විශාල ලෙස රැස් කළ තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. ඒත් එක්කම නවීණ තාක්ෂණය භාවිත කර උසස් මට්ටමකින් ඉදිරියට යන්නට අවශ්‍ය සහයෝගය සහ අද්දැකීම් ඇතිව නව මාවතකට පිවිසෙන්නත් දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා.

 

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT