(බුලත්සිංහල ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕ. එස්. පෙරේරා මහතාගේ 40 වැනි ගුණානුස්මරණය අදට (04) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
ඒ 1977 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර යුගයයි. කළුතර දිස්ත්‍රික්කය වමේ බළකොටුවක්ව පැවතිණි. හොරණ, කළුතර, පාණදුර, බුලත්සිංහල, මතුගම, අගලවත්ත, බේරුවල මැතිවරණ කොට්ඨාස සියල්ලම නියෝජනය කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හවුල් ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ය.
1972 වසරේදී පමණ බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා ලෙස නීතිඥ ඕ. එස්. පෙරේරා මහතා සහ කළුතර ආසනයේ ආසන සංවිධායක, මගේ මහප්පා වූ නීතිඥ වී. එල්. විජේමාන්න මහතා පක්ෂයේ ආසන සංවිධාන කටයුතු සමකාලීනව ආරම්භ කළේ එම ආසනවල රතු බළකොටු පරදා එජාපයට බලය ලබා ගැනීමේ තිර අදිටන පෙර දැරිවය.
එය අභියෝගාත්මක කටයුත්තක් විය. හොරණ ආසනය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, මතුගම රෙජිනෝල්ඩ් විජේගුණරත්න, බණ්ඩාරගම නීතිඥ රාජා සමරනායක, අගලවත්ත නීතිඥ මෙරිල් කාරියවසම්, බේරුවල නීතිඥ එම්. ඒ. බාකීර් මාකර් (1977 එජාප රජයේ කථානායකවරයා), පාණදුර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සටනට බැස සිටියහ.
බුලත්සිංහල ආසනය කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරම ආසනයක් විය. කඳු හෙල් මිටියාවත්වලින් අඩුවක් නොවුණු ආසනය මැදින් ගලා ගිය කළුගඟ නිසා ගංවතුරින්ද අඩුවක් නොවුණු මනරම් පරිසරයකින් හෙබි බුලත්සිංහල, භූමි ප්‍රමාණයෙන් ද විශාල විය. එවකට අසූ පන්දහසක් පමණ වූ ජනගහණය ඒ විශාල ආසනය පුරා විසිරී පදිංචිව සිටියහ.
වෘත්තියෙන් නීතිඥයකු වූ ඕ. එස්. පෙරේරා මහතා උදේ වරුවේ අධිකරණ කටයුතු නිම කර දහවල් ගියේ බුලත්සිංහල පක්ෂයේ සංවිධාන කටයුතුවලටය. එජාපයට වැඩි ඡන්ද පදනමක් නොතිබූ බුලත්සිංහල ආසනයේ එවකට එහි මහජන නියෝජිතයා වූ මංගල මුණසිංහ වටා සිටි පිරිස් ක්‍රමයෙන් තමා වෙත නැඹුරු කර ගැනීමට ඕ. එස්. සමත්විය. (ඔහුගේ සමීපතමයන් ඔහු හැඳින්වූයේ එම නමිනි)
සිරිමාවෝ මැතිනිය පැනවූ හදිසි නීතිය විපක්ෂයේ දේශපාලන සංවිධාන කටයුතුවලට බාධාවක් විය. එජාපය වෙනුවෙන් බුලත්සිංහ ආසනයේ සංවිධාන කටයුතු කිරීම නිසා ඕ. එස්. ට රිමාන්ඩ් භාරයේ සිටීමට ද සිදු විය. ජේ. ආර්. ජයවර්ධන මහතා රට පුරාම එක් දිනයක රැස්වීම් සියයක් පැවැත්වීමට පියවර ගත්තේය. එය වැළැක්වීමට මැතිනිය හදිසි නීතිය පැනවූවාය. රැස්වීම් පැවැත්වීමට අවසර නොලැබිණි. බුලත්සිංහල ආසනයේ රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට ගිය ඕ.එස්. ජනතාවට කරුණු පැහැදිලි කර ජනතාව විසුරුවා හැරීමට කටයුතු කළේය. මේ සිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීමට සිරිමාවෝ රජය කටයුතු කළේය. එවකට හොරණ ආසනයේ මහජන නියෝජිතයා වූයේ පසුව අගමැති ධුරයට පත් වූ රත්නසිරි වික්‍රමනායක මහතාය. ඕ.එස්.පෙරේරා මහතා පදිංචි හොරණ නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන් ඕ.එස්. රැගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයට පත් කළේය. දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු කිසිදු චෝදනාවක් හෝ අධිකරණය හමුවේ ගොනු නොකරමින් පසුව නිදහස් කරනු ලැබිණි. ඕ.එස්. කළුතර අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ එවකට රටේ පැවති දේශපාලන වාතාවරණය පවා සැලකිල්ලට නොගනිමින් අධිකරණ ශාලාවට පැමිණ සිටි සියලුම නීතිඥවරු නැඟී සිට ඕ.එස්. වෙනුවෙන් පෙනී සිටියහ.
රටේ පැවති දේශපාලන තත්ත්වය මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පැනවූ ÒපොලුÓ නිසා ඇගේ ආණ්ඩුව මහජන අප්‍රසාදයට ලක් වෙමින් තිබුණි. ආණ්ඩුව ජනතාව පීඩාවට ලක් කර තිබිණි. ජනතාවට තුන්වේල කන්න බැරි යුගයක් නිර්මාණය වී තිබිණි. අඳින්න ලැබුණේ සලාකයටය. අසරණ වූ ජනතාව එවකට එජාපයේ නායකත්වය දැරූ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කෘතහස්ත දේශපාලන ඥානය පක්ෂය ශක්තිමත් කරමින් මුළු රටේම ජනතාව පක්ෂය වටා ඒක රාශි කර ගැනීමට සමත් විය.
ඕ.එස්. සිය නායකයා මඟ යමින් බුලත්සිංහල ජනතාව තමා වටා ඒකරාශි කර ගත්තේය. 1977 ජූලි 21 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එවකට රතු බළකොටුව, කොළ බළකොටුවක් කරමින් ඕ. එස්. පෙරේරා මහතා වැඩි ඡන්ද හාරදහස් ගණනකින් ජයග්‍රහණය කර ජාතික රාජ්‍ය සභාවට තේරී පත් විය.
එජාපය හයෙන් පහක ජයක් ලබා ජයග්‍රහණය කරද්දී කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ජයග්රහණයද එජාපය සතු විය. (1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ රාජ්‍ය සභාව වෙනුවට පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබූ අතර ඉන් පසුව මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හඳුන්වනු ලැබිණි.)
1977 වසරේ මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ උගත්කමින්, වැදගත්කමින් මෙන්ම පෞරුෂයෙන්ද හොඳම කණ්ඩායම ලෙස හැඳින්වීම නිවැරදිය. ඔවුන් දේශපාලනයට ආවේ ජනතාවට සේවය කිරීමේ පරම අභිලාෂයෙනි. දේශපාලනයෙන් හරි හම්බ කිරීම හෝ වරප්‍රසාද ලබාගැනීම අරමුණ නොවීය. එසේම ඔවුහු සරල අල්පේච්ඡ ජීවිත ගත කළ අය වූහ. වර්තමාන දේශපාලනඥයන් මෙන් නොව ජනතාව අතර ජීවත් වී ඔවුන්ගේ දුක සැප බෙදා ගත්හ.
ඕ. එස්.ගේ මහජන සේවාව ඇරඹුණේ ඔහු මහජන නියෝජිතයකු වීමට බොහෝ පෙරය. තරුණයකු වශයෙන් ඔහු ගමේ පොදු සමාජ සේවා වැඩවල යෙදී තැබූ මුල් පියවර මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකු වශයෙන් තවත් ඉදිරියට ගියේය. ඔහුගේ ආසනයේ වැඩි හරියක් සිටියේ දුප්පත් ජනතාවය. ඔවුන් එම දරිද්‍රතාවයෙන් මුදාගෙන ඉහළට ඔසවා තැබීම ඕ.එස්.ගේ දැඩි අරමුණ විය.
එතුමා බුලත්සිංහ ආසනයේ සෑම අස්සක් මුල්ලක්ම සෑම අඩිපාරක්ම දැන සිටියේය. සෑම නිවෙසකම නිවැසියන් හඳුනා සිටියේය. ඔවුනගේ සෑම ප්‍රශ්නයක්ම දැන සිටියේය. දුක සැප බෙදා ගත්තේය.
මන්ත්‍රී ධුරයට පත් ඕ. එස්. රැකියා ලබාදීමේදී අධ්‍යාපන සුදුසුකම් මෙන්ම පවුලේ දරිද්‍රතාවද සලකා බැලීය. දේශපාලන හිතවත්කම්වලට පමණක් රැකියා ලබා නොදී සුදුස්සන් තෝරා ගැනීමට කමිටුවක්ද පත් කළේය. රැකියාව ලැබිය යුත්තාටම ලබා දීම ඔහුගේ අරමුණ විය. මේ නිසා සමහර පාක්ෂිකයන්ගේ සිත් නොසතුටු වුවත් දුප්පතාට සේවය කිරීමේ සිය ප්‍රතිපත්තිය අත නොහැරියේය. රජයේ නිවාස සහ ඉඩම් ලබාදීමේදී ද ඔහු අනුගමනය කළ ක්‍රියා පිළිවෙත වූයේ එයය.
බුලත්සිංහල ආසනයට අයත් හොරණ නගරයට ආසන්නයෙන් පිහිටි වේරවත්ත ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ ඕ. එස්. පෙරේරා මහතා අධ්‍යාපනයෙන් ගමේ තරුණයකුට යා හැකි ඉහළම තත්ත්වයට ගියේය. ඔහු සිය ආසනයේ දරුවන්ටද ඒ කඩඉම් විවර කරදීමට මඟපාදන පියවර ගත්තේය. බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයක් ඇරඹීම, බැල්ලපිටිය කනිෂ්ඨ විද්‍යාලය දිවයිනේ නම ගිය පාසලක් වන හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ශාඛාවක් කිරීම, බුලත්සිංහල ආසනයේ පාසල්වල දෙමහල් ගොඩනැඟිලි ඉදිකිරීම, පාසල්වලට විදුලිය ලබාදීම, ගුරු හිඟය පියවීම වැනි පියවර ගත්තේය.
එතෙක් කිසිදු දේශපාලනඥයකුගේ සේවය හරි හැටි නොලත් බුලත්සිංහල ආසනයට නවෝදය උදා කරදීමට ඔහු කටයුතු කළේය. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අතින් බුලත්සිංහ ආසනයේ එක් දිනකදී සංවර්ධන වැඩ සියයක් විවෘත කරවීම එහි උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ඒ 1980 පෙබරවාරි 23දාය. ඕ.එස්. මන්ත්‍රි ධුරයට පත්ව අවුරුදු දෙක හමාරකදී එවන් සංවර්ධන වැඩ සීයක් ආරම්භ කිරීම ඔහුගේ ජනතා සේවය මොනවට පැහැදිලි කරදීමක් විය. එවකට රජයේ ප්‍රබල ඇමැතිවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක, විමලා කන්නන්ගර වැනි ජ්‍යෙෂ්ඨයන්ද විවෘත කිරීම්වලට සහභාගි වූහ.
බුලත්සිංහල ආසනයට උදාගම් තුනක් ලබා ගැනීමට එතුමා ක්‍රියා කළේය. ප්රබුද්ධගම, කළුනදීගම සහ සෞම්‍යගම ඉදි වූ නිවාස දුන්නේද හිසට හරි හමන් වහලක් නැති පවුල්වලටය.
බුලත්සිංහල මැදින් ගලා යන මනරම් කළු ගඟ වැසි කාලවලදී ආසනය ගංවතුරින් යට කළේය. කළු ගඟේ ජල ගැලීම් මඟින් බුලත්සිංහල ආසනයට වන විශාල හානිය වළක්වා ගැනීම සඳහා කළු ගඟ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඔහුගේ බලාපොරොත්තුව වූ අතර, ඒ සඳහා විද්වතුන්ගේ සහායෙන් සැලසුමක් ද සකස් කිරීමට ද එතුමා පියවර ගත්තේය. ඔහුගේ සිහිනය මල්ඵල ගැන්වීමට අවස්ථාවක් නොලද්දේය. 1982 දී කළුතර දිස්ත්‍රික්කයේ ඇති වූ මහා ජල ගැල්ම මගේ මතකයේද පවතී. ඒ වකවානුව වන විටද යම් රෝගී තත්ත්වයක සිටි පෙරේරා මහතා වෛද්‍ය උපදෙස් ද නොතකා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ක්‍රියාකාරී විය. ඔරුවලින් ගොස් දුකට පත්ව සිටින ජනතාව ගැන සොයා බලමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඔහුද එක් විය. ඒ ඔහුගේ මානව හිතවාදී ගුණයයි. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වීමය. රෝහලේ සිට ගංවතුර ආධාර බෙදාදීමට ගිය ඔහුට ගංවතුර බැස යද්දී යළි රෝහල්ගත වීමටද සිදු විය.
චීනයේ පාහියං හිමි මෙරටට වැඩි අවස්ථාවේදී වැඩ සිටි බුලත්සිංහල ආසනයේ පිහිටි පාහියං ලෙන පිහිටි විහාරස්ථානය චීන ආධාර යටතේ යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ප්‍රථම වරට ආරම්භ වූයේ එතුමා බුලත්සිංහල මන්ත්‍රිවරයාව සිටියදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නීතිඥයකු ලෙස වැඩ කිරීමට බාධාවක් නැත. නමුත් ඕ. එස්. මන්ත්‍රි ධුරයට පත් වූ විගස නීතිඥ වෘත්තියේ කටයුතුවලින් ඉවත් වූයේ පූර්ණ කාලීනව ජනතාව වෙනුවෙන් කැපවීමේ අභිලාෂයෙනි. ඔහු සිය පවුල ජීවත් කරවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ලැබූ වේතනයෙනි. (එවකට මන්ත්‍රිවරයකුට ඉහළ වැටුපක් නොලැබිණි.)
බුලත්සිංහල ජනතාව වෙනුවෙන් ඔහු කැපවීමෙන් කළ මෙහෙවර සම්බන්ධයෙන් එහි ජනතාවගේ කෘතවේදීත්වය පිළිබිඹු වූයේ 1982 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ ජනමත විචාරණයේදීය. ලාම්පු කළගෙඩි සටනේදී එජාපය කළුතර දිස්ත්‍රික්කයේ පරාජයට පත් වූ අතර, ආසන වශයෙන් ජයග්‍රහණය කළේ බුලත්සිංහල සහ තවත් ආසන දෙකක් පමණි. ජනමත විචාරණ සමයේදී ඕ.එස්. රෝගාතුරව රෝහල්ගතව සිටි අතර, මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරනු ලැබුවේ ඔහුගේ වැඩිමහල් දියණිය වන නීතිඥ ප්‍රියානි පෙරේරා මෙනෙවියයි. මැතිවරණ සමයේ ආසනයටවත් යෑමට නොහැකි වුවත් ඔහු දිනාගෙන සිටි ජනතා විශ්වාසය සහ ජනතාවගේ ගෞරවය මොනවට පැහැදිලි කරමින් ජනමත විචාරණයෙන් බුලත්සිංහල ආසනයේ ජය එජාපයට ලබාදීමට ජනතාව පෙළ ගැසිණි.
අසනීප තත්ත්වය නිසා 1983 ජුලි මස 04 දා අකාලයේ මියගිය ඕ.එස්. පෙරේරා මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ශෝකය පළ කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රි මෙරිල් කාරියවසම් මහතා ඒ බව සනාථ කළේය. මූලාසනයේ සිටි කථානායක බාකීර් මාකර් මහතා ද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. මෙරිල් කාරියවසම් මහතා පැවසුවේ මෙවන් වදනකි.
Ò ගරු කථානායකතුමනි, ජනමත විචාරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඔබටත් මටත් නොහැකි වූ ජයග්‍රහණයක් ලබා ගැනීමට ලෙඩ ඇඳේ නොව මර ඇඳේ සිටිමින් ඕ. එස්. පෙරේරා මහතාට හැකි වුණා. එතුමාට ඇති මහජන විශ්වාසය පෙන්නුම් කිරීමට එයට වඩා සාක්ෂියක් නැහැ.Ó
පවුලේ බර හිස මත නොගෙන බුලත්සිංහල ජනතාවගේ බර දැරීමට ඕ.එස්.ට හැකි වූයේ සිය ආදරණීය බිරියගෙන් ලැබුණු සහාය නිසා බව නොකියා බැරිය. ගුරුවරියක වූ ඇය දියණියන් සිවුදෙනකුගේ වගකීම් දරමින් සැමියාගේ ගමනට ද අත්වැලක් වූවාය. ඕ.එස්.ගේ දියණියන් සිවුදෙනා නීතිඥ, වෛද්‍ය, ගුරු සහ මාධ්‍ය ක්ෂේත්රයන්හි නිරතව සිටිති. ඔවුන්ගෙන් එක් අයකු හෝ සිය පියාගේ අඩිපාරේ යමින් පාර්ලිමේන්තුවට පියවර නොතැබීම අඩුවකි.
ඕ.එස්. මිය ගොස් වසර හතළිහක් ගත වුවත් ඔහු කළ ජනතා සේවයේ ගුණ සුවඳ පිළිබඳ මතක ජනතාවක් බුලත්සිංහල ආසනයේ තවමත් සිටිති. ඔහු තවත් කල් ජීවත් වූවා නම් එහි වාසිය භුක්ති විඳින්නේ ජනතාවමය. තමා ගැන නොසිතා ජනතාව වෙනුවෙන් කැප වෙන දේශපාලනඥයන් අද සොයා ගැනීමට අසීරුය.