යුද ගැටුම්වලින් දරුවන්ට බලපෑම් සිදුවන රටවල් ලැයිස්තුවෙන් ඉන්දියාව ඉවත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ප්රකාශ කර තිබේ. ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහන් කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය රජය ගෙන ඇති ක්රියාමාර්ග උපුටා දක්වමින් සන්නද්ධ ගැටුම්වලින් දරුවන්ට බලපෑම් සිදුවන රටවල වාර්ෂික වාර්තාවෙන් ඉන්දියාව ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා කටයුතු කර ඇති බවය.
වසර 2010 සිට ඉන්දියාව එම ලැයිස්තුවට ඇතුළත් වූයේ ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් දරුවන් බඳවා ගැනීම සහ එසේ බඳවා ගත් දරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම හේතුවෙනි. බුර්කිනා ෆාසෝ, කැමරුන්, නයිජීරියාව, පාකිස්තානය සහ පිලිපීනය ද එම ලැයිස්තුවට ඇතුළත් ය. ඉන්දියාවේ තාක්ෂණික මෙහෙවර සහ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පසුගිය කාලයේ පවත්වනු ලැබූ වැඩමුළුවක් ද, ජම්මු කාශ්මීරයේ ඉන්දීය රජය විසින් සංවිධාන කරනු ලැබූ වැඩමුළුවක් ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පැසසුමට ලක් වී තිබේ.