Home » සමුපකාර ව්‍යාපාරයේ ජීවය ආරක්ෂා කිරීමට නම් දැනට තිබෙන නීති රීති ලිහිල් කළ යුතුයි

සමුපකාර ව්‍යාපාරයේ ජීවය ආරක්ෂා කිරීමට නම් දැනට තිබෙන නීති රීති ලිහිල් කළ යුතුයි

ශ්‍රී ලංකාවේ වැඩිම දේපළ තිබෙන්නේ සමුපකාරයට ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උලෙළේදී අගමැති කියයි

by thanushika
July 4, 2023 8:20 am 0 comment

නුවන් කොඩිකාර

සමුපකාර ව්‍යාපාරයේ ජීවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින නීති රීති ලිහිල් කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

කොළඹ, රාජකීය විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උලෙළට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

නීති රීතිවල තිබුණු පළියට කටයුතු කිරීමෙන් ඇතිවන දුර්වලතාවන් සමුපකාර ව්‍යාපාරයේ ජීවයට හානියක් වන බව හෙතෙම පැවසීය.

මීට වසර හතළිහකට පෙර පළාත් සභාවට සමුපකාරය බාර දීමෙන් එහි ප්‍රගතියක් තිබෙන්නේද, පසුබෑමක් තිබෙන්නේද යන්න පිළිබඳ විශේෂයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව ද අගමැතිවරයා කියා සිටියේය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

Òගමින් ගමට ස්වයංපෝෂිත වූ ඉතිහාසයක අන්‍යෝන්‍ය බෙදා ගැනීම, බෙදාහැරීම, සුරක්ෂිත කිරීම වැනි හැම කටයුත්තකටම සමුපකාරය අද කියාපාන මූලධර්ම පිහිටා තිබුණා.

සමුපකාර ව්‍යාපාරය අවුරුදු සියයකට ප්‍රථම විවිධ ක්ෂේත්‍රයන්වලින් ආරම්භ වුණා. ඒ සමුපකාර දර්ශනය වගේම වැඩපිළිවෙළ අපි රජය හැටියට අගය කරනවා.

101 වසරක ඉතිහාස කාලයේ සමුපකාර ව්‍යාපාරය කුමන ස්වාභාවික හෝ ස්වාභාවික නොවන රාජ්‍ය නීතියට ගොදුරු වෙලා තිබෙනවා ද? එනමුත් සාමාජික සාමාජිකාවන්ගේ ශක්තිය, නිර්මාණශීලිත්වය නිසා රටේ විවිධ පළාත්වල විවිධ ක්ෂේත්‍රවල සමුපකාර ව්‍යාපාරය අඛණ්ඩව ඇදී ගියා.

ණය දෙන සමිති විවිධ ගැටලුවලදී උදවු දෙන සමිති බවට පරිවර්තනය වෙමින් සාමාජික සාමාජිකාවන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය දැඩිව ගොඩ නැඟුවා.

විවිධ ක්ෂේත්‍රයන්හි ගොවිතැන, කෘෂිකර්මය, ධීවර, හස්ත කර්මාන්තය ආදී විවිධ කර්මාන්තවලට පිවිසුණා. එලෙස ගොඩනැඟී ගමින් ගමට ගමන් කළ ව්‍යාපාරයක් ලෙස විවිධ ආර්ථික ක්ෂේත්‍රයන්වල නිෂ්පාදනය, සේවාව, පමණක් නොව ආදර්ශමත් මැදිහත්කරුවෙක් බවට පත් වුණා. නීතිරීති බොහෝ දුරට ලිහිල් කරන්න ඕනෑ. අද යුගයේ තිබෙන අභියෝගත් ජය ගන්න ඕනෑ. සමුපකාරයට දෙපයින් සිටගත හැකි බව අපි විශ්වාස කරනවා. පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික කඩා වැටීම සහ බංකොලොත්භාවය ඉදිරියේ ජාතියේ ආහාර නිෂ්පාදනය සුරක්ෂිත කරන්න සාකච්ඡා කරන අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ට අතිරේකව ආචාර්ය කිරිවන්දෙණිය මහතා කැඳවන්න ජනාධිපතිට යෝජනා කළා. ගමින් ගමට තිබෙන හයියක් තමයි සණස සහ සමුපකාරය. මෙය යළි ගමින් ගමට ජාතික නිෂ්පාදනය සඳහා යොදා ගන්නට පුළුවන් වූ සරලම මාර්ගය බවට පත්වෙනවා. ආහාරයෙන් සුරක්ෂිත වන ඉලක්කයට ගමන් කිරීම සඳහා ස්වයංපෝෂිත ගම්මාන ඇති කරන වැඩපිළිවෙළට අත්වැල් බැඳගන්න සණස සහ සමුපකාරය කැමති වුණා.

ලංකාවේ වැඩිම දේපළ තියෙන්නේ සමුපකාරයට. කිසිම ආකාරයක සංගණනයක් කර නැහැ. අපේ පැරැන්නන් ඇති කරපු සමුපකාරය අපි අතරෙන් වෙන් වෙලා යනකොට අරගෙන ගියේ නැහැ. ඔප්පු නැතිව වුණත් ඊළඟ පරම්පරාවට බාර දීලා ගියා. මේ ආකාරයේ දේපළ දහස් ගණනක් තියෙනවා. සමුපකාර මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ වාර්තාවල සංඛ්‍යාලේඛන හරියාකාරව සඳහන් වෙලා නැහැ. එතකොට පාර්ලිමේන්තුවත් නොමඟ යනවා.

විගණකාධිපතිත් නොමඟ යවනවා. රටේ මෙවැනි දේපළ රාශියක් තිබෙනවා. මේ දේපළ සම්භාරය සමුපකාරය සතුයි. ඒවා සමුපකාරයට දායාද කළ දේපළ.

තිරසර සංවර්ධනය සඳහා හැමදාම එකමුතුවෙන් ගමන් කිරීමට නම් ඔබේ සහයෝගය මේ පිළිබඳව යළි අවශ්‍ය වෙනවා. ඇමැති නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන එස්. වියලේන්ද්‍රන්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීමාසහිත සණස මහා සංගමයේ සභාපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩී. ජීවනාදන්, වෙළෙඳ හා වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් එම්. පී. එම්. බී. අතපත්තු මහත්වරුන් ඇතුළු සමුපකාර සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT