Home » ජාවාලේන්-කොළඹ ජය ලබයි

ජාවාලේන්-කොළඹ ජය ලබයි

මොරගස්මුල්ල ජාවාලේන් අතර උණුසුම් ගැටුමක්

by thanushika
July 4, 2023 8:41 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා ජාවාලේන් අතර තරගයෙන් ගෝල් 4-2ක ජයක් ජාවාලේන් පිලට හිමි විය. එමෙන්ම මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැති තරගයෙන් ගෝල 3-1 ජයක් අත්කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

කොළඹ සිටි ලීග් පිටියේදී පෙරේදා පැවැති මොරගස්මුල්ල – ජාවාලේන් අතර තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයකින් පැවැති අතර, දෙවැනි භාගයේදී ජාවාලේන් පිල වැඩි වාසි ගෙන පෙරමුණට පැමිණියේය.

තරගයේ 4 වැනි මිනිත්තුවේදී මොහොමඩ් සෆ්රාන් පළමු ගෝලය ජාවාලේන් පිලට එක්කළ අතර, එයට පිළිතුරු ලෙස ඩිලාන් මධුසංඛ මොරගස්මුල්ල පිලට ගෝලයක් එක් කිරීමෙන් ගෝල් සම විය. යළි ක්‍රියාත්මක වූ මොහොමඩ් සෆ්රාන් 46 වැනි මිනිත්තුවේදී ගෝලයක් එල්ල කළ අතර, මොහොමඩ් රිෆ්කාන් 58 වැනි හා මධුරංග සිල්වා 76 වැනි මිනිත්තුවේදී ජාවාලේන් බලාපොරොත්තු ඉහළ නංවමින් ගෝල් රැස් කළහ. දැඩි තරගකාරීත්වය මැද 78 වැනි මිනිත්තුවේදී නිමල ධනංජය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට දෙවැනි ගෝලය එක් කළේය.

මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැති තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක් තිබූ අතර, සෆ්රාන් සැටර් කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් 15 වැනි මිනිත්තුවේදී හා මොහොමඩ් අසාම් 34 වැනි මිනිත්තුවේදී මාලිගාවත්ත යූත් පිල වෙනුවෙන් ගෝල් ලබා ගත්හ. කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් දෙවැනි ගෝලය 61 වැනි මිනිත්තුවේදී මොහොමඩ් අකීබ් හා 90 වැනි මිනිත්තුවේදී තෙවැනි ගෝලය නිරාන් කනිෂ්ක වාර්තා කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT