Tuesday, May 6, 2025
Home » පිළියන්දල පොලිසියේ යකා නැටූ ASP ගැන විමර්ශන කඩිනමින්

පිළියන්දල පොලිසියේ යකා නැටූ ASP ගැන විමර්ශන කඩිනමින්

by gayan
July 6, 2023 1:00 am 0 comment

පොලිස් නිලධාරියකුට සුදුසු නොවන ලෙස පිළියන්දල පොලිසිය තුළදී ආවේගශීලීව හැසිරී
පොලිස් නිලධාරීන්ට බැණවැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරිවරයා
කරුණු විමසා ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත
කඩිනමින් කැඳවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඇසළ පොහෝ දින පිළියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ
හිතවතියක කරන ලද පැමිණිල්ලක් කඩිනමින් විභාග නොකළැයි ආවේගශීලීව පොලිස් නිලධාරීන්ට
බැණවැදී පොලිස් භූමිය තුළ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් ගතකර තිබිණි.

සහකාර පොලිස් අධිකාරිවරයා සමඟ පැමිණිල්ල සිදු කළ බව කියන කාන්තාව ද පැමිණ තිබිණි.

ව්‍යාපාරික කටයුත්තකදී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සහකාර පොලිස්
අධිකාරිවරයාගේ හිතවතිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබූ අතර ඊට සම්බන්ධ
වගඋත්තරකාර පාර්ශ්වය පොලිසියට කැඳවා කඩිනමින් විභාග නොකළ බවට සහකාර පොලිස්
අධිකාරිවරයා එහි සිටි පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන් බැණවදිමින් ආවේගශීලීව
හැසිරී තිබිණි.

ඒ පිළිබඳ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ පොලිස්
මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත්
කණ්ඩායමක් විසින් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරිවරයා ඍජුවම
බැණවැදුණු බව කියන විවිධ පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එදින කටයුතු කළ උප
පොලිස් පරීක්ෂකවරයාගෙන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන
තිබිණි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT