Home » පෙම්වතා පැහැරගත් පෙම්වතිය ඇතුළු සිවුදෙනාට ඇප
නිවාස 599කට හානි

පෙම්වතා පැහැරගත් පෙම්වතිය ඇතුළු සිවුදෙනාට ඇප

කල්පිටියේ ධීවරයෙක් මරුට

by gayan
July 6, 2023 1:00 am 0 comment

සිය පෙම්වතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ
තරුණියක සහ තවත් පුද්ගලයන් ති‌ෙදනකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත
මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා ඊයේ (05) නියෝග
කළේය.

වාද්දුව, මහවිහාර පාරේ පදිංචි කලුතන්ත්‍රි පටබැඳිගේ සචිනි කවිහාරී (31), වැලිපැන්න
ප්‍රදේශයේ පදිංචි ගමගේ නිශාන්ත බන්දුල (30), මොල්ලිගොඩ උඩවෙල පාරේ පදිංචි
හේවාමාන්නගේ සහන් කාවින්ද හේවාමාන්න (23) සහ වාද්දුව පොතුපිටියේ පදිංචි වික්‍රමරත්න
මහවිදානලාගේ කවිඳු නිශ්ශංක යන අයවලුන් මෙසේ ඇප මත මුදාහරින ලදි.

පැහැර ගැනීමට ලක්වූ තරුණයා පෙර දින රාත්‍රී සේවය නිමවා යතුරුපැදියකින් අළුබෝමුල්ල
පින්වත්ත මාර්ගයේ එමින් සිටියදී පැහැරගෙන ගොස් හබරලගහලන්ද ප්‍රදේශයේ පාළු නිවෙසක
සඟවාගෙන සිට ඇති බැවින් සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස උප පොලිස් පරීක්ෂක
එච්.එම්.ඩී. හේරත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

පැමිණිල්ලක් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ දෙදෙනා
පෙම්වතුන් බවත්, සමාදාන වීමට තම සේවාදායකයා එකඟ බවත්ය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මාදො විජයපාල මහතා සඳහන් කළේ දෙදෙනා කලක පටන්
ඇසුරු කර, පැමිණිලිකරු සිය සේවාදායිකාව මඟහැර ඇති බැවින් ඇය ඒ පිළිබඳ කකා කිරීමට
රැගෙන ගොස් ඇති බවයි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ හිමාලී ප්‍රනාන්දු, විත්තිය වෙනුවෙන් නීතිඥ මාදො විජයපාල
සහ නීතිඥ සමීර රුද්‍රිගු යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී. හේරත් සහ කොස්තාපල් එස්.කේ. චාමර
(91171) අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

නඩුව ලබන 2024 පෙබරවාරි මස 02 වැනි දින යළි කැඳවීමට නියමිතයි.

මෙම පැහැර ගැනීම සිදුවන්නේ පෙරේදා⁣ (04) රාත්‍රී කාලයේදීය. පෙම්වතා රැකියාවට ගොස්
සිය නවාතැන්පොළ වෙත යමින් සිටියදී ඔහුව පැහැරගෙන තිබිණි. ඔහු රැකියාවේ නිරතව
සිටින්නේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු නිෂ්පාදන සමාගමක අළුබෝමුල්ලේ පිහිටි බෙදා හැරීමේ
නියෝජිත ආයතනයක රියැදුරකු ලෙස බව පොලිසිය කියයි.

මෙම පෙම්වතා අවුරුදු තිස්දෙකක් වයසැතිය. පෙම්වතිය ද අවුරුදු තිස් දෙකක් වයසැති
තැනැත්තියකි. මෙම තැනැත්තියගේ විවාහක සැමියා කාලයක් තිස්සේ විදෙස්ගතව රැකියාවක
නිරතව සිටින්නකු බව පොලිසිය කියයි. සැමියා විදෙස්ගතව සිටියදී ඇය පැහැරගත් පුද්ගලයා
සමඟ පෙම් සම්බන්ධයක් ඇති කර ගනිමින් ඔහු සමඟ වසර හයක් පමණ ඇය පදිංචිව සිටි නිවෙසේ
කාලය ගත කර තිබේ. පොලිසිය පවසන්නේ මේ අතරතුර ඇය සිය සැමියාගෙන් දික්කසාදය ලබාගෙන
සිය පෙම්වතාව විවාහ කර ගැනීමට සූදානම් වී ඇති බවය. ඊට ඇගේ පෙම්වතා කැමැත්තක් දක්වා
නැත. එබැවින් ඔහු මාස දෙකක් තිස්සේ ඇගේ නිවෙසට නොපැමිණ වෙනත් ස්ථානයක රැඳී සිට ඇත.

සිය පෙම්වතා නිවෙසට නොපැමිණෙන නිසා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ උරණ වූ ඇය අපේ හිතවතුන්
කිහිපදෙනකු සම්බන්ධ කර ගනිමින් ඔහුව පැහැරගෙනවිත් බලහත්කාරයෙන් විවාහ කර ගැනීමට
සැලසුමක් සකස් කර ඇති බව පොලිසිය කියයි. ඒ අනුව ඇය හිතවත් තරුණයන් කිහිපදෙනකු යොදා
අළුබෝමුල්ලේ සිට සිය පෙම්වතා රැකියාව නිම වී පැමිණෙන විට ඊයේ අතරමඟදී ඔහුව නතර කර
ඔහු සමඟ කතාබහක නිරත වෙමින් සිට ඇත. එම අවස්ථාවේ පෙම්වතිය බව කියන කාන්තාව ත්‍රිරෝද
රථයකින් තරුණයන් කිහිපදෙනකු සමඟ පැමිණ සිය පෙම්වතාව ඊට බලහත්කාරයෙන් ඇද දමාගෙන
පලාගොස් තිබේ.

මෙසේ පැහැරගත් පෙම්වතාව ඇය විසින් සිර කරගෙන සිට ඇත්තේ වාද්දුවේ පිහිටි ඇගේ
ඥාතියකුට අයත් නිවෙසකය. මෙම පෙම්වතාද වාද්දුවේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥාතීන් දෙදෙනකු
සිය ඥාති පුතා පැහැර ගැනීමකට ලක්ව ඇති බව දැනගෙන යතුරුපැදියකින් ඔහුව සොයා ගමන් කර
ඇති බව පොලිසිය කියයි. එම ඥාතීන් දෙදෙනා මෙම පෙම්වතාව සිර කරගෙන සිටි නිවෙස අසලින්
ගමන් කරමින් සිටියදී පෙම්වතා එකවරම කෑගසාගෙන නිවෙසින් පිටතට දුවගෙනවිත් ඇති බව
පොලිසිය කියයි.

එහිදී එම ඥාතීන් දෙදෙනා තරුණයාව යතුරුපැදියේ නංවා එම ස්ථානයෙන් ඈතට ගමන් කර ඇති බව
සඳහන් වේ. ඒ යන අතරතුර එක් ඥාතියකු තරුණයාගේ මවට දුරකතන ඇමතුමක් දෙමින් ඔහු
නිරුපද්‍රිතව සිටින බව දැනුම් දී ඇත. එම දුරකතන ඇමතුම ලැබෙන විට ඇය සිට ඇත්තේ සිය
පුතාව පැහැරගත් බවට පැමිණිල්ලක් කිරීමට පින්වත්ත පොලිසියට ගොසිනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන
මහත්වරුන්ගේ උපදෙස් පරිදි පිංවත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT