Home » ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව නිමවෙයි

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව නිමවෙයි

by gayan
July 6, 2023 1:00 am 0 comment

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය හා මඟ
පෙන්වීම යටතේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ චාමර සම්පත් දසනායක යන
මහත්වරුන්ගේ සහයෝගීතාවයෙන් යුතුව කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය,
සියලු රාජ්‍ය යන්ත්‍රණය හා එක්ව ජුනි 22 වෙනිදා ‘ජාතික කර්මාන්ත දිනය’ ලෙසින් නම්
කොට ජුනි 28 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරුණු ‘ජාතික කර්මාන්ත සතිය’ අපනයන
කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටම පුබුදුවාලමින් සාර්ථකව නිමාවට පත්විය.
එහි දී ජාතික කර්මාන්ත සතියට සමගාමීව ජුනි 21 වෙනිදා සවස ගාලු මුවදොර පිටියේ සිට
BMICH දක්වා දේශීයව එකලස් කරන ලද වාහන නිෂ්පාදන කර්මාන්තයේ අසිරිය විදහා දක්වමින්
ජාතික වාහන පෙරහැර ( National Vehicle Parade ) පවත්වනු ලැබිණි.

ජුනි 22 වෙනිදා සිට ජුනි 25 වෙනිදා දක්වා ජාතික කර්මාන්ත සතියේ ප්‍රමුඛතම කාර්ය
ලෙසින්, දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමේ අරමුණින් සියලු රජයේ ආයතන සහ
පෞද්ගලික අංශයේ සහයෝගීත්වයෙන් ‘Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ BMICH
පරිශ්‍රයේ දී පවත්වනු ලැබිණි. කර්මාන්ත සතියේ දිනයන් තේමාත්මකව නම් කෙරුණු අතර ඒ
අනුව ජුනි 22 වෙනිදා උසස් තාක්ෂණ දිනය (Advanced Technology Day) ලෙසත්, ජුනි 23
වෙනිදා හරිතකරණ කර්මාන්ත දිනය (Greening Industries Day) ලෙසත්, ජුනි 24 වෙනිදා
තරුණ සහ කාන්තා ව්‍යවසායකයින්ගේ දිනය (Youth & Women Entrepreneurs Day )ලෙසත්,
ජුනි 25 කර්මාන්ත කුසලතා වැඩි දියුණු කිරීමේ දිනය (Industry Skills Enhancement
Day) ලෙසින් නම් කරමින් ප්‍රදර්ශන භූමිය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

ප්‍රදර්ශන භූමිය තුළ දේශීය නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ශක්තිය, හැකියාව ලොවට
විදහාපාන ප්‍රදර්ශන කුටි 750ක් දෘශ්‍යමාන කෙරුණු අතර ප්‍රදර්ශනය අවසාන දින වූ 25
වෙනිදා සිට අතත්‍ය ප්‍රදර්ශනය (Virtual Exhibition) අන්තර්ජාලය ඔස්සේ දින 14ක
කාලයකට ජනගත කෙරිණි. මේ වනවිට එය සාර්ථකව ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ප්‍රදර්ශනය
අවසාන දිනයේදීම 2024 වර්ෂයේ ප්‍රදර්ශනය සඳහා දිනයන් ලෙස ජුනි 19 වෙනිදා සිට ජුනි 23
වෙනිදා දක්වා දිනයන් ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙවර ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය
ලෙසින් නම් කෙරුණු ප්‍රදර්ශනය 2024 වර්ෂයේ දී ‘Industry 2024 ජාත්‍යන්තර කර්මාන්ත
ප්‍රදර්ශනය’ ලෙසින් නම් කෙරිණි.

ජාතික කර්මාන්ත සතියට සමගාමීව ජුනි 26 වෙනිදා කර්මාන්තපුර ස්ථාපිත කිරීමේ දිනය
(Establishment of Industrial Zone Day ) ලෙසින් නම් කොට ගාල්ල ඇල්පිටියේ කෘෂි හා
ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් සහ මිල්ලනියේ ‘කළුතර රයිගම හරිත
කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන අධි කලාපයේ’ පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT