Home » රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අයිතියකි

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අයිතියකි

by gayan
July 6, 2023 1:00 am 0 comment

  • ලෝකයේ භාෂා 6912 ක් පමණ තියෙනවා
  • හැඟීම් දැනීම් ප්‍රකාශ කිරීමෙහිලා ඒකායන මාධ්‍ය මවු භාෂාවයි
  • දෙවන භාෂාව සංහිඳියාව හා සහජීවනයට පිටිවහලක්

රාජ්‍ය භාෂා සතිය වෙනුවෙනි.

තම රට තුළ තම මවු භාෂාවෙන් කතා කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තරව පිළිගත් මානව
අයිතියකි. මේ වන විට ලෝකයේ භාෂා 6912 ක් පමණ ඇති බව වාර්තා වේ. ඉන් 10ක් සංඥා භාෂාව
වශයෙන් නම් කර ඇත. භාෂාව, සන්නිවේදනය දැනීම ලබාදෙන උපකරණයක් මෙන්ම පුද්ගලයෙකුගේ
පුද්ගලභාවය, අනන්‍යතාවය, ගති ලක්ෂණ පිළිබිඹු කරන ප්‍රධාන සාධකයක් ද වේ.

භාෂාවේ ප්‍රධානතම මෙහෙවර වන්නේ චින්තනය, අදහස් ප්‍රකාශ කිරීම හා ග්‍රහණය කර
ගැනීමයි. සතුට, දුක, වේදනාව, සෙනෙහස, උදහස හා ප්‍රකම්පනය යන හැඟීම් දැනීම් ප්‍රකාශ
කිරීමෙහිලා ඒකායන මාධ්‍ය මවු භාෂාවයි. බුද්ධිමය හා චිත්තවේගී සංවර්ධනයේදී අවශ්‍යම
සාධකය මෙන්ම පරිකල්පනය ගොඩනැඟීමට බෙහෙවින්ම බලපානුයේ මවු භාෂාවයි.

මිනිසා සතුන්ගෙන් වෙන් කරන නිර්මාණාත්මක සාධකය වන්නේද භාෂාවයි. භාෂාව ඉගෙනීම සඳහා
වූ ශාරීරික මානසික ශක්‍යතාවය මිනිසා සතුව ඇත. මව සමඟ ඇති වන බැඳීමේදී මවගෙන් ලැබෙන
භාෂාමය උකහා ගැනීමෙන් ඇති වන සමාජනුයෝජනයෙන් මවු බස ගොඩනැඟේ. එය පළමු බස වන අතර
ලාංකික ජනතාව අතර පළමු බස වන්නේ සිංහල හෝ දෙමළ භාෂාව වේ. ඔවුන්ගේ දෙවන බස වන්නේ
ඉංග්‍රීසි භාෂාවයි.

පාලන භාෂාව

විදෙස් බසක් ඉගෙනීම නුහුරු කාර්යයක් වුවද විවිධ භාෂාවන් සමඟ ගනුදෙනු කරද්දී තම මවු
භාෂාව පිළිබඳ ප්‍රමාණවත් හා ශක්තිමත් පදනමක් කෙනෙකු සතුවීම තවත් බසක් ඉගෙනීමෙහි ලා
මහඟු පිටුවහලක් වේ.

ශ්‍රී ලාංකික අපි විදේශ ආධිපත්‍යයට මුහුණදීමෙන් පසු විශේෂයෙන් 1815 න් පසු
බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්වීමෙන් ලාංකීය ජනතාවගේ ව්‍යවහාර භාෂාව හා
ඔවුන් පාලනය වන භාෂාවේ තත්ත්වය වෙනස් විය. 1815 ට පෙර රජු රදල ප්‍රජාව හා ජනතාව අතර
පැමිණි සබඳතාව ඔවුනොවුන්ගේ භාෂා ව්‍යවහාරයන්ගෙන් පැවතිණ. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන්
පසුව සිය පාලන භාෂාව ඉංග්‍රීසි භාෂාව බව කාටත් පිළිගැනීමට සිදු වේ.

බෙහෙවින්ම බැරිව ගිය කටයුතු සිංහලෙන් හෝ දෙමළෙන් කිරීමට හැකියාව තිබුණ ද ජනතාවගේ
එදිනෙදා සියලු පාලන කටයුතු ඉංග්‍රීසියෙන්ම සිදු විය. ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි
ජාතිකයන්ගේ ජාතික භාෂාව විය. ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික භාෂාව වූයේ සිංහල හා දෙමළ
භාෂාවන්ය. උප්පැන්න, මරණ, විවාහ, අධ්‍යාපන සහතික පවා එවකට ඉංග්‍රීසි භාෂාවෙන්
සැකැසිණ. සියලු භෞතික සම්පත් මෙන්ම මිනිස් ජීවිත පවා අත්පත් කරගෙන තිබුණේ ඉංග්‍රීසි
පාලනය මඟින් වේ. 1831 කෝල්බෘෘක් කැමරන් කොමිෂන් සභාව හා පසුකාලීනව පැමිණි ඩොනමෝර්
කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ පරිපාලන, අධ්‍යාපන සහ අධිකරණ යන සෑම අංශයකම ඉංග්‍රීසි
භාෂාවේ ආධිපත්‍යයට යටත් විය. ඒ අයුරින් ඉංග්‍රීසි ජාතීන්ගේ ඉංග්‍රීසි භාෂාව ශ්‍රී
ලංකාවේ රාජ්‍ය භාෂා බවට භාවිතයෙන් පත් විය.

රාජ්‍ය භාෂා පනත

රජු සහ රදලයින්ගේ පාලනයට ඉංග්‍රීසි පාලනය විකල්පයක් වුවද පසුකාලීනව එය පොදු ජනතාවට
සහනය ගෙනදෙන්නක් නොවීය.

1947 වනතුරුම දශක ගණනාවක් ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය සමඟ ඊට හුරු වූ මධ්‍යම පන්තියක්
බිහිවීමත් සමඟ සෙසු සිංහල හා දෙමළ භාෂා භාවිතය ඔවුනොවුන් අතරට සීමා වී රජයේ සේවයේ
පිහිට පැතීමට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට සිදු විය.

තත්ත්වය එසේ පැවතිය ද 1982 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මාතර මන්ත්‍රී ජී. කේ. ඩබ්.
පෙරේරා මැතිතුමා හා 1936 දී අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මැතිතුමා සිංහල
හා දෙමළ භාෂාව රාජ්‍ය සේවය තුළ භාවිතය පිළිබඳව හඬක් නඟන්නට විය. 1943 දී හා 1946 දී
ජේ. ආර්.ජයවර්ධන මැතිතුමා ද රාජ්‍ය සේවයේ ඉංග්‍රීසි භාෂාව සමඟ සිංහල හා දෙමළ භාෂා
භාවිතය පිළිබඳව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ යෝජනා ගෙන ඒමත් සමඟ 1956 දී බණ්ඩාරනායක
අග්‍රාමාත්‍යතුමා විසින් 1956 අංක 36 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව රාජ්‍ය
භාෂාව බවට පත්කරන ලදී. රාජ්‍ය පාලනය තුළ ඉංග්‍රීසි ආධිපත්‍යයේ පීඩනයට එසේ සිංහල
පමණක් රාජ්‍ය භාෂාව බවට පත්වීම ඓතිහාසිකව විවේචනයට පත්වුවද 1958 දී සිංහල රාජ්‍ය
භාෂාව සමඟ දෙමළ භාෂාව භාවිතයට ද අවස්ථාව සැලසිණ.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

1978 වන විට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
iv වන පරිච්ඡේදයේ 18 වන වගන්තිය මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට රටේ මූලික
නීතියට ඇතුළත් කරන ලදී. අනතුරුව 1987 දී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට පත්වූ අතර
ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව විය. 1956 වන තාක් ඉංග්‍රීසි භාෂාව පරිපාලන, අධිකරණ,
අධ්‍යාපන යන සෑම ක්ෂේත්‍රයකටම රාජ්‍ය භාෂා බවට පත්වීම වෙනුවට ලාංකිකයන්ගේ ජාතික
භාෂාව වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂා බවට පත්විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා
1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්‍රවිඩ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට
පත්වීමෙන් අනතුරුව ඉංග්‍රීසි රාජ්‍ය භාෂා බවට පත්වීම වෙනුවට ශ්‍රී ලාංකිකයන්ගේ
සිංහල හා දෙමළ ජාතික භාෂාවන් රාජ්‍ය භාෂාවන් බවට පත්විය. ශ්‍රී ලාංකික සිංහල හා
දෙමළ ජනතාවට තමා කැමති භාෂාවකින් රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන මඟින් ලබා ගැනීමේ තම නිල
භාෂා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම තහවුරු කර ඇත. ඒ වෙනුවෙන් රාජ්‍ය භාෂා
ප්‍රතිපත්තිය සුරැකීම හා පෝෂණය කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා
කොමිෂන් සභාව, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ ජාතික භාෂා අංශය පිහිටුවා
ඇත.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

මෙම දෙපාර්තමේන්තුව භාෂා ඉගැන්වීම, නිල පරිවර්තන කාර්යය, පාරිභාෂික වචන ශබ්දකෝෂ
සකස් කිරීම ආදී ප්‍රධාන කාර්යයන් ඉටුකරන අතර ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය ද
රාජ්‍ය භාෂාවන් මෙන්ම අනෙකුත් භාෂාවන් ඉගැන්වීමේ කාර්යයෙහි නිරත වේ. රාජ්‍ය භාෂා
කොමිෂන් සභාව 1991 අංක 18 පනත මඟින් පිහිටුවීමත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය
කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් එකී භාෂා අයිතීන් උල්ලංඝන කිරීම වැළැක්වීම හා ඒ
පිළිබඳව නීතිමය පියවර ගැනීමට පිහිටුවන ලද ආයතනයකි.

සිංහල සහ දෙමළ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වෙමු. ඒ ඒ ජාතීන්ගේ අනන්‍යතාව ඒ
අයුරින්ම පිළිබිඹු වීම අනිවාර්ය කරුණකි. එහෙත් සිංහල සහ දෙමළ අපි සියලු දෙනා පෙනී
සිටින්නේ ශ්‍රී ලංකික අනන්‍යතාවය යටතේය. එකී ශ්‍රී ලාංකික අනන්‍යතාව අපි ශ්‍රී
ලාංකිකයන් වශයෙන් එකලාව තම රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා සැම විටම රාජ්‍ය සහ අර්ධ
රාජ්‍ය ආයතන සමඟ තමන් කැමති භාෂාවකින් සේවාවන් ලබා ගැනීමේ මුලික අයිතිය ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇත. එකී නිල භාෂා පුරවැසි අයිතිය උල්ලංඝනය වන සෑම
අවස්ථාවකම ඒ් පිළිබඳව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත පැමිණිලිකර ව්‍යවස්ථාපිත අයිතිය
ද එයට විසඳුම් ලබා ගැනීමේ අයිතිය ද නියම වී ඇත. එහිදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ
ප්‍රධානම කාර්ය භාරයක් වනුයේ එකී පැමිණිලි විමර්ශනය කර ඊට අදාළ නිර්දේශ ලබා දීම,
ඒවා ක්‍රියාත්මක කිරීම හා ඒවා ක්‍රියාත්මක නොකරන ආයතනවලට හෝ නිලධරයන්ට එරෙහිව
නීතිමය පියවර ගැනීමයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය හා අර්ධ
රාජ්‍ය ආයතන විෂයෙහි පැවැරී ඇති ප්‍රධානතම වගකීමක් වන අතර එකී නිලධරයන් විසින් එය
නිසි අයුරින් ක්‍රියාත්මක කරනවාද යන්න භාෂා විගණන මඟින් අධීක්ෂණය කිරීමද රාජ්‍ය
භාෂා කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීමක් වේ.

රාජ්‍ය භාෂාව සහ ජාතික භාෂාව

සිංහල හා දෙමළ ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික භාෂාවන්ය. ඔවුන්, ඔවුන්ගේ සෑම ජාතික
කටයුත්තකදීම භාවිත කරනුයේ සිංහල හා දෙමළ භාෂාවන්ය. සිංහල හා දෙමළ භාෂාව සමඟ ගැට
ගැසී ඇති සංස්කෘතික පදනම සිරිත් විරිත්, සිතුම් පැතුම් ආදිය එකී භාෂාවන් ජාතික
භාෂාවන් බවට පත්කර ඇත. එතෙක් පැවති ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙනුවට සිංහල හා දෙමළ
ජාතික භාෂා, රාජ්‍ය භාෂා බවට පත්වීම තුළ රාජ්‍ය සහ ජාතික භාෂාවන් වන්නේ සිංහල හා
ද්‍රවිඩ භාෂාවන්ය. දශක ගණනාවක් ඉංග්‍රීසි ජාතිකයන්ගේ භාෂාව ශ්‍රී ලංකාවේ පාලන භාෂාව
බවට පත්විය. අනතුරුව විකල්ප වශයෙන් සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා බවට පත්විය. ඒ
අනුව සිංහල හා දෙමළ භාෂා ජාතික භාෂා මෙන්ම රාජ්‍ය භාෂාවන් ද වේ. භාෂාවක් ජාතික
භාෂාවක් වන්නේ ඒ ඒ ජාතීන් අනන්‍යතාවය අනුව ඊට අනන්‍ය වූ සංස්කෘතික රටාවන් සිරිත්
විරිත්, ගති පැවතුම් හා බද්ධ වූ භාෂාවකි. බෙහෙවින්ම තම රටේ ජාතිකත්වය එමඟින්
පිළිබිඹු කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය බවට පත්වූ සිංහල හා දෙමළ රාජ්‍ය
භාෂා අතරට සන්ධාන භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ජාතික
භාෂාවන් වුවද ඉංග්‍රීසි භාෂා භාවිතය නිරතුරුවම වැඩිදියුණු කිරීමට පමණක් නොව
ඉංග්‍රීසි භාෂාව හා සමගාමීව වෙනත් ඕනෑම භාෂාවක් හැදෑරීමට එමඟින් කටයුතු කිරීමට
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හාෂා ප්‍රතිපත්තිය කිසිදු බාධාවක් නොමැත.

1956 සිට මේ දක්වා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වී දශක 06 කට වඩා දිගු
කාලයක් ගතවුවද ලාංකීක පුරවැසියා සතු රාජ්‍ය භාෂා අයිතිය පිළිබඳ ඔවුන් සතුව ඇත්තේ
ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි. මිනිසාට නිල භාෂා අයිතිය ලැබි තිබුණ ද තමන්ට
කැමති භාෂාව රාජ්‍ය සේවයේ සහාය ලබාගැනීමට, මඟ පෙන්විමට රජය මඟින් ඉහත සඳහන් කළ ආයතන
ඇති කර පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලාංකික පුරවාසියාට රාජ්‍ය භාෂා අයිතිය
ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබුණ ද ඔවුන්ගේ භාෂා අයිතිය පිළිබඳ දැනිම අල්ප වීමෙන් එකී
භාෂා අයිතිය කඩවීම පිළිබඳව ද අවබෝධයක් නොමැත. ඒ නිසා පුරවැසියා සතු රාජ්‍ය හාෂා
අයිතිය පිළිබඳ දැනුවත් කිරීමේ වගකීම ඉහත සඳහන් කළ සෑම ආයතනයකම මූලික වගකීම වේ.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

රාජ්‍ය අංශයේ ආයතන සඳහා පමණක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ
පිළිබඳ භාෂා අයිතිය උල්ලංඝනය කිරීම පිළිබඳ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත බලය පැවැරී
ඇති නමුත් පෞද්ගලික අංශය වෙත ඒ අයුරින්ම කටයුතු කිරීමේ විධානාත්මක ප්‍රතිපාදන
නොමැත. රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතේ 31 වන වගන්තියේ මහජන සුබසිද්ධිය උදෙසා
පෞද්ගලික අංශයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වීමක දී සොයා බැලීමටත්,
මැදිහත්වීමේ හැකියාවක් ඇතත් එය රාජ්‍ය ආයතන කෙරෙහි මැදිහත්වීමේ ව්‍යවස්ථාපිත මට්ටමට
වඩා අවම මට්ටමක පවතී. එකී 31 වන වගන්තිය යටතේ කටයුතු කිරීමේ හැකියාව විධානාත්මකව
පැවරී නොමැත. ඒ අනුව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පෞද්ගලික
අංශයේ විෂයෙහි ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ගැන නිර්දේශයන් සකස් කිරීම පිළිබඳව
අවධානය යොමු කරමින් සිටි.

භාෂා පුහුණු පාඨමාලා

සිංහල සහ දෙමළ භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන ඡේදයේ 18-19 සහ III වන ඡේදයේ
මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) යටතේ
“රාජ්‍ය සේවයේ නියුක්තව ධුර කාර්යය ඉටුකිරීම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක්
පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක, ඒ සේවා
නියුක්තිකයන්ගේ ධුරය සඳහා සුදුසුකම් ලෙස ඒ භාෂා පිළිබඳව එයින් ප්‍රමාණවත් දැනීමක්
සාධාරණ කාලයක් තුළ ලබා ගත යුතුයි නියම කිරීම නීත්‍යනුකූල වන්නේ ය.” යනුවෙන් සඳහන්
වේ. ඒ අනුව මේවන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සෑම රාජ්‍ය සේවකයෙකුම තම දෙවන
භාෂා වශයෙන් සිංහල සහ දෙමළ භාෂා ප්‍රවීණතාවය වසර 05 ක් තුළ සම්පූර්ණ කළ යුතු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT