මෙරට මෙතෙක් හමු වී නැති මිල අධික මත්ද්‍රව්‍ය විශේෂයක් (ග්‍රෑම් 115) සමඟ
මොරටුවේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු සහ මාලදිවයිනේ
ව්‍යාපාරවල නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ එම ව්‍යාපාරිකයාගේ ගෝලයකු
පානදුර පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ
(14) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් භාණ්ඩ ලෙස කුරියර් කර මෙරටට රැගෙන එන මෙම මත්ද්‍රව්‍යවලින් සුළු
ප්‍රමාණයක් පමණක් තබාගෙන වැඩි ප්‍රමාණයක් සෙල්ලම්බඩු අස්සේ සඟවා
මාලදිවයිනට කුරියර් මඟින් ප්‍රවාහනය කරන බව ද විමර්ශනවලින් හෙළි වූ බව
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.
මොරටුව සමන්පුර පදිංචිව සිටින පාරම්පරික කෝටිපති ව්‍යාපාරිකයකුගේ 25
හැවිරිදි පුතකු විසින් ගුවන් භාණ්ඩ ලෙස මෙරටට ගෙන්වන මෙම මත්ද්‍රව්‍ය සිය නිවෙසේ
සඟවාගෙන සිටින බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත්තේ
එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් ඇතිවය.
මෙම වැටලීම සිදු කිරීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් යොදා කළ සොයා බැලීමකදී පෙනී
ගොස් ඇත්තේ මොරටුව සමන්පුර පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා හමුවීමට මිල
අධික සුඛෝපභෝගී වාහනවලින් විවිධ පුද්ගලයන් නිතර එන යන බවය. එසේ පැමිණෙන
බොහෝ දෙනකු මෙම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන අය බව නිරීක්ෂණය කිරීමෙන්
අනතුරුව ඊයේ (05) දහවල් එම නිවෙස වටලා ඇත්තේ ඉන්දික වීරසිංහ මහතා ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක් විසිනි. තෙමහල් සුවිසල් නිවෙසක් වූ මෙම නිවෙසේ ඉහළ මහලේ
මෙරට ප්‍රමුඛ සන්නිවේදන ආයතනයක කුලුනක් පවා ඉදි කර ඇති බව මධ්‍යම දූෂණ මර්දන
ප්‍රහාරක බළකාය සඳහන් කරයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරික
පුත්‍රයා මෙම වැටලීම කරන විට රැඳී සිට ඇත්තේ නිවෙසේ දෙවැනි මහලේ කාමරයකය.
මත්ද්‍රව්‍ය හමු වී ඇත්තේ එම කාමරයේ තිබියදී බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාපාරික පුත්‍රයා පවසා ඇත්තේ
මාලදිවයිනේ ව්‍යාපාරික කටයුතුවල නිරත බෝට්ටු හිමිකරුවකු වන කෝටිපති
ව්‍යාපාරිකයකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින බවය. අත්තිඩියේ
පදිංචිකරුවකු වන ඔහු බෝට්ටු අමතර කොටස් ආනයනයේ නිරතව සිටින්නකු බව ද පෙනී
ගොස් ඇත. ඔහු සතුවද කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 තිබී හමුවී ඇත. මොරටුවේ
කෝටිපති ව්‍යාපාරික පුත්‍රයාගේ තොරතුරු මත 32 හැවිරිදි එම ව්‍යාපාරිකයාව
අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන බළකායේ තවත් කණ්ඩායමක් විසිනි. එම
සෙල්ලම්බඩු අස්සේ සඟවා කුරියර් කර මෙම මත්ද්‍රව්‍ය මාලදිවයිනට යවන්නේ මෙම
ව්‍යාපාරිකයා බව ද ප්‍රශ්න කිරීමේදී සහ විමර්ශනයේදී හෙළි වී ඇත. මෙරටට මෙම
මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ ද මෙම ව්‍යාපාරිකයා බව පෙනී ගියේ යැයි මධ්‍යම දූෂණ මර්දන
ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ජාවාරමට බෝට්ටු ව්‍යාපාරිකයාගේ ගෝලයකු ද සම්බන්ධ බව ප්‍රශ්න කිරීමේදී
හෙළි වී තිබේ. ඒ අනුව දෙහිවල ඇන්ඩර්සන් පාරේදී තුන්වැනි සැකකරුව අත්අඩංගුවට
ගෙන තිබේ. එහිදී එම පුද්ගලයා සතුව තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්ද තිබී
සොයාගත් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය සමඟ මොරටුව
පොලිසියට භාරදීමට නියමිතව තිබිණි.
මෙතෙක් හමු වී නැති මිල අධික මත්ද්‍රව්‍ය විශේෂය පිළිබඳ මේ වන විටත් වීදි
වටිනාකම ගණනය කර නැති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස්
පරීක්ෂක සඳරුවන්, සැරයන් බටුවත්ත (1445), සැරයන් ජයලාල් (428) යන
නිලධාරීන් මෙම වැටලීමට සම්බන්ධ වී තිබේ.