පුද පූජා පවත්වමින් කුඩාඋඩුව හික්ගහ කන්ද ප්‍රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම සැකකරුවන් පිරිස අතර, සුදුවතින් සැරසී ස්ත්‍රෝත්‍ර ගායනා කළ කපුවා ද වන බව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ගල්තලාව පිපිරවීමට යොදාගත් සේවා නූල්, යාතිකා කිරීමට යොදාගත් මල් පහන් පැල, සුවඳ කුඩු, යකඩ ඉනි, සවල් උදලු මෙන්ම මන්තර පොතක් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම ගල්තලාව අභ්‍යන්තරයෙහි වසර 300 කට පෙර නිධන් කරන ලද රන් සෙම්බුවක් ඇති බවට ඉඩමේ හිමිකරුට හීනෙන් පැවසීමේ කතාවක් මුල්කරගෙන පිරිස ගල පුපුරවා හැර එම රන් සෙම්බුව ගැනීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි. දීර්ඝ කාලයක සිට විශාල ගල් තලාව දිවා රාත්‍රී කාලයේදී පුපුරුවා හැර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න, පොලිස් සැරයන් (13428) සම්පත්, (66337) ඉන්ද්‍රජිත් පොලිස් කොස්තාපල්වරුන් වන (91214) වන්නිනායක, (31292) ජීවන්ත, (31338) නිරෝෂන් යන මහත්වරු වැටලීම සිදු කළහ.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ