සිසාම්නස් විනිසුරුවරයා ලබා දුන් දූෂිත නඩු තීන්දු කෙරෙහි දෙවන කැම්බිසස් රජු වෙත වාර්තා විය. මේ කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව පන්සීය වෙනි සමය ගැනය. අධිකරණය කිලිටි කරමින්, අල්ලස් ලබාගෙන තීන්දු ලබාදීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳව සිදුවූ අනාවරණය සම්බන්ධයෙන්, රජ තෙමේ තද තීන්දුවක් ගත්තේය. හිස ගසා මරා දැමීමට එහා ගිය, හම ගසා මරා දැමීමේ දණ්ඩනය ඔහු වෙත නියම විය. දඬුවමට පෙර රජු, ඔහු වෙතින් විමසා සිටියේ, තම අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නේ කවුරුන්ද යන්නය. තනතුරු ලෝභයෙන් ඉහවහා ගිය හේ, සිය පුතු ඒ සඳහා නම් කළේය. රජුගේ එකඟතාවය ඊට හිමි විය. පුත් ඔටනේස් විනිශ්චය සඳහා අසුනට පිවිසීමට පෙර, එහි ඇතිරීම සඳහා ‘පුටු ආවරණයක්’ ද රජු පිරි නැමීය. ඒ සිය පියාගේ හමය. දණ්ඩනය සඳහා ගසන ලද හම, තම ආසනාවරණය ලෙස පවතින කල්හි, පියා මිය ගිය හේතුව ඔහුට සිහිපත් වන්නේය. ඒ සැණින්, පරණ වැරැද්ද සඳහා හේ යොමු නොවනවා ඇත, යන්න රජුගේ කල්පනය විය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව, පෙරේදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී, ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණ. පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
විනිසුරු සිසාම්නස් වෙත දුන් දණ්ඩන වැනි ඉතිහාස ඇත්තේ වුවද, දූෂණය ඒ කිසිවෙකින් සැලුනේ නැත. සැලුන් දොරක් සේ ‘ඇරෙමින් වැසෙමින්’ එය ගමන් කළේය. ඒ ගමන සඳහා දැඩි බාධකයක් බවට, මේ පනත පත් වේවා යන්න සටහන් තබමින්, අද තීරුව ආරම්භ කරමු.
ලහිලහියේ මේ පනත ගෙන ඒම සඳහා ආණ්ඩුවට නිමිත්ත සැපයුවේ, මූල්‍ය අරමුදලේ කොන්දේසිය. රාජ්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් දැඩි ලෙස පෙනී සිටීමේ වැදගත්කම, මූල්‍ය අරමුදල කොන්දේසියක් ලෙස, ශ්‍රී ලංකාවට පනවා තිබුණි. අප මේ ගෙවන්නේ, මේ රටේ ආර්ථිකය මුහුණදෙන අසීරුම හෝරා කිහිපයටය. ෆිච් රේටින්ස් ආයතනය, මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාව ‘ඩී’ ලෙස නම් කළේය. ඒ බංකොලොත් රටවල් සඳහා වන සංකේතයය. දේශපාලන ස්ථාවරභාවය සහ ආර්ථිකය හිස එසවීමත් සමඟ එය ‘ඩබල් සී’ විය. ආයෝජනය අවදානම් සහිතය. ‘එහෙත් රතු බිල ඒ තරමට තද නැත’ යන්න එහි තේරුම ලෙස ගත හැකිය. පෙරේදා සන්ධ්‍යාවේදී ෆිච් ආයතනය අප සඳහා ලබාදුන් ශ්‍රේණි ගත කිරීම ‘සී’ය. එය ‘ඩබල් සී’ට වඩා පහළ බැසීමකි. එය දෙවැනි වන්නේ බංකොලොත්භාවය සඳහා ලැබෙන ‘ඩී’ අකුරට පමණය.
තමන් රටට සත්‍ය පවසා ගමන යන බව, අසීරුතාවය සඳහා යොදන පිළියම් පිළිබඳව සඳහන් කරමින්, ජනාධිපතිවරයා මුලදීම කියා සිටියේය. වෙනදාට මෙහෙම රේටින් එකක් ලැබුණු සැණින්, එහෙම කතාවක් රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරය කරන්නේ නැත. නැතිනම්, රේටින් ආයතනය සමඟ ‘ගේම’ ඉල්ලනේය. එහෙම ගේම ඉල්ලිය යුතු අවස්ථා ද තිබේ. ඒ ගේමට ද අප එකඟය. එහෙත් මේ කැඩපත බිඳ දමා, මේකප් කර ගත හැකි අවස්ථාවක් නොවේ.
‘සී’ යන්න වෙනුවට ‘ඩබල් සී’ හි රැඳී සිටීමට අපට නොහැකි වූ කාරණා රාශියකි. ණය සේවා ප්‍රශස්තකරණය සඳහා දේශීය ණය ව්‍යුහයට අදාළ, ප්‍රතිසංස්කරණය යනු පෙරහැර ඉවර වී, ගිනි පාගනවා වැනි වැඩකි. වටෙන්ම කාවඩි හඬය. ඒ අස්සේ, අහලටවත් කිට්ටු වෙන්නට බැරි තරමේ රස්නය ඇති ගිනි අඟුරු පලසය. ඒ මත ඇවිද යෑම යනු ‘දෙවියන් නැත ද බලයක් ඇති වැඩකි’. දේශීය ණය සඳහා ප්‍රතිව්‍යුහගතකරණයක් නොමැත්තේ නම්, මේ රටට ඉදිරියට යා නොහැකිය. ඒ සඳහා අඩියක් තබන විට, රට කලබලයට පත් වන්නේය. දින පහක බැංකු නිවාඩුවක් ලබා දුන්නේ යැයි විපක්ෂය මොර ගසන්නට පටන් ගත්තේය. එහෙම දින පහක නිවාඩුවක් දුන්නේ නැත. දිනයක් නිවාඩු ලබා දුන්නා පමණය. පසළොස්වක නිවාඩුව සහ තවත් නිවාඩුවක් ඉබේම සෙට් වුණේය. විපක්ෂය කෑ මොර දෙන්නට වූයේ, ආණ්ඩුව හඳ පළුවට ද ගාණක් ලබාදී, ප්ලෑන් කර පසළොස්වක උදා කළා සේය. ඒ අධි ඇසළ නිසා, ඇසළ පොහෝ දෙකක් ආවේ කොහොමද කියා ඇසුවේ නැතුවා පමණය. ඒ කෑ ගැසීමේ හැටියට, අද වන විට කොළඹ කොටුව පැත්තේ ඇවිද යන්නට බැරිය. ලංකා බැංකුව එහෙම් පිටින්ම බිමය. ‘ජාතියේ මහා පහන් ටැඹ’ බිමට පෙරළී ඇති කල්හි, මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකු ද රැල්ය. පුද්ගලික බැංකු ටික ද බිල්ඩින් පිටින් බිමය. අඟහරුවාදා වැඩට එන කිසිවෙකු එහෙම දසුනක් දුටුවේ නැත. ඊළඟට අල්ලා ගත්තේ අර්ථ සාධකයය. ‘ඊපීඑෆ් එකට අත තියෙනවා’ කියන කතාව මාර මාකට්ය. කටුනායක උද්ඝෝෂණයකදී රොෂේන් චානක මැරුම් කන්නේය. ඒ සඳහා පසුබිම සැකසෙන්නේ, ඔය වැනි ‘ඊපීඑෆ් බිරන්තට්ටුවකි’.
‘ෆික්ස් ඩිපොසිට්’ කැන්සල් හෙයින් ගිණුම්වලින් වහ වහා සල්ලි අදින්න යැයි, සමහරු ෆේස්බුකියේ ද ප්‍රචාරය කළහ. එහෙම කෙළියක් වූවේ නැත. ණය ප්‍රශස්තකරණය සිදු විය. එහි පරිමාව මද බව ඇත්තය. ඒත් රටක් වට්ටා, දේශීය ණය සඳහා අලුත් මඟක් තැනිය නොහැකිය. ‘ඩබල් සී’ සිට ‘සී’ දක්වා අප පහළට ගියේ, මේ සුමට ප්‍රශස්තකරණය නිසා විය හැකිය. ඩබල් සී අල්ලාගෙන සිටීම සඳහා ‘ලොකුවට සීන්’එකට බැස්සේ නම්, සීන් එකේ මේ දවස්වල නැති, විපක්ෂය පාරට එන්නේය. නැති කතා හදා, නව කතා සේ පතුරු වන්නේය. එහෙම ඒවා විශ්වාස කිරීම සඳහාම, උදේ සිට සූදානම් ශරීරයෙන් සිටින ගැන්සියක් ද අපට සිටියි. ඒ නිසා ගමන යා යුත්තේ හෙමිනි. එහෙම හෙමින් යන විට, අරහෙම පාඩු ද අත් විඳින්නේය. ‘ගමන දුරයි – මඟ කටුකයි – පා යුග පැටලෙයි – බලාගෙනයි’ කියා, මේ ගමන යන්නේ එහෙයිනි.