අපේ සංස්කෘතිය ලොවට පෙන්විය හැකි තැන් ඕනෑ තරම්
ශ්‍රී ලංකාව ආකර්ෂනීය සංචාරක ගමනාන්තයක් කිරීම අරමුණයි
තවත් සංචාරක නිකේතන, ගොල්ෆ් පිටි නුවරඑළියට
ඉදිරි දශකයේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගත හැකි බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය විසින් සංවිධාන කළ Òදේශසීමා ඉක්මවා යෑම – ජීවිතය පරිවර්තනය කිරීමÓ වැඩසටහනට එක්වෙමිනි.
දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වමින් ජෝති මැතිනිය අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත විය යුතුයි. නව සැලසුම් ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් කරන බව මම ඔබට සහතික වෙනවා. අපේ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කරනවා.
මේ සමුළුවෙන් පසු ඔබගෙන් බොහෝදෙනෙක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරයි. එහිදී ත්‍රිකුණාමලයට ගොස් දක්ෂිණ කෛලාසය නැරඹීමට සහ කතරගමට ගොස් වෙල්ලමුරුගන් දෙවියන්ගේ සිද්ධස්ථානය නැරඹීමට ඔබ අතපසු නොකළ යුතු බව මම සඳහන් කරන්න කැමතියි. වෙල්ලමුරුගන් සිද්ධස්ථානය වසර 2000කට වඩා පැරණි, කලාපයේ පැරණිතම හින්දු සිද්ධස්ථානවලින් එකක්. මම මීට දින කීපයකට පෙර උත්සවයක් සඳහා එහි ගිය අතර, එම අවස්ථවේ 200,000 කට අධික පිරිසක් එහි පැමිණි සිටියා. එසේ නැතිනම් යාපනයේ නල්ලූර් වෙත ගොස් එහි වාර්ෂික උත්සවය නැරඹීමට ඔබට පුළුවන්. ඔබ කඳුකරය සහ අනෙකුත් සුන්දර ස්ථාන දැක ඇති නමුත් මම සඳහන් කළ ස්ථාන ද නැරඹීම වටිනා බව කිවයුතුයි.
නල්ලූර් උත්සවය සහ මහනුවර පෙරහර අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. එය අපේ සංස්කෘතිය ලොවට පෙන්වන මෙන්ම විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු වෙනවා.
අනිත් කාරණය තමයි ජනවාරි මාසයේ අපේ ගාලු සාහිත්‍ය උලෙළ පැවැත්වෙනවා. දකුණු පළාතේ ගාල්ලේ සෑම නගරයකටම තමන්ගේම උත්සවයක් තිබෙනවා. හිරිකැටියේ වෙරළ විදේශිකයන් ආකර්ෂණ කරන ඩිස්කෝටේක් හා නවීන ජෑස් සංගීතය ද තිබෙනවා. මාතරදී සම්භාව්‍ය ගීත ප්‍රසංග රැසක් පැවැත්වෙන අතර, ඊට අමතරව ජනවාරි මාසයේදී කොළඹදී අන්ද්‍ර රේ බෝචෙලිගේ ගායනයටද සවන් දිය හැකියි.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදා ගන්නා විට ණය ප්‍රශස්තකරණය කළ යුතු වෙනවා. වෙළෙඳ ශේෂය අපට වාසිදායක නොවන බව අප තවමත් මතක තබා ගත යුතුයි. එබැවින් ඉදිරි කාලයේ අපි ධනාත්මක වෙළෙඳ ශේෂයක් සහතික කළ යුතුයි.
ණය නොවන අරමුදල් රැස් කිරීමේ මාධ්‍යයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එබැවින් එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. දැනට සංචාරකයන් වාර්ෂිකව මිලියන 2.5ක් ලංකාවට එනවා. එය මිලියන 5 දක්වා වැඩි කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි.
සංචාරකයකුට එක් රාත්‍රියකට ඩොලර් 1000ක් වියදම් කිරීමට අවශ්‍ය ආකර්ෂණීය වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. දකුණු ආසියාතික රටවල් අතරින් කුඩාම රට වන මාලදිවයිනෙන් අපට සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඉගෙන ගත හැකි දේ තිබෙනවා. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අප තවත් ගොල්ෆ් පිටි 7ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. විශාල සංචාරක නිකේතන ඇති කිරීමට අවශ්‍යයි. දෙඩුවාව ප්‍රදේශයට යාබදව, ජලාශ්‍රිත ප්‍රදේශයක අක්කර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට සුදුසු යැයි අප හඳුනාගෙන තිබෙනවා. හෝර්ටන්තැන්න අසල තවත් අක්කර 900ක් තිබෙනවා. එය තරු 5 සුඛෝපභෝගී නවාතැන් ගත හැකි තවත් රක්ෂිතයක් ලෙස සංවර්ධනය කළ යුතුයි. තවත් බොහෝ ස්ථානවල රාෆ්ටින් ක්‍රීඩාව සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නවා. ඔබ ඇල්ල දක්වා ගිය සුන්දර ගමනේ ආකර්ෂණීය අත්දැකීම ලොවට ගෙන යා යුතුයි. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා.
සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට සමගාමීව එහි ආදායම තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග සහ සංස්කෘතික අංශවලින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව ලොවට පෙන්විය හැකියි. අපි නැඟෙනහිර පළාත සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට එහි මහල් නිවාසයක්, විලා එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට අප සූදානම්. ඒ අනුව නැඟෙනහිර පළාතේ වෙරළ තීරයේ සුන්දරත්වය විඳ ගත හැකියි.
ඒ වගේම මේ සංචාරක සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පරිදි නීති වෙනස් කිරීම අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් ලැබීමෙන් රටේ ආර්ථිකයට විශාල විදේශ විනියමක් උපයා ගත හැකියි. මෙයයි අප ඉදිරියට යායුතු මාර්ගය. සංචාරක කර්මාන්තයට අදාළ මේ සැලසුම් සකස් කළ යුතුව තිබුණේ මීට දශක කීපයකට පෙරයි. නමුත් දැන්වත් අප මේ කටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම කලාපයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. නැඟෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට වඩා සංචාරකයන් වැඩියි. ඒ නිසාම අප රටක් හෝ රටවල් කීපයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වීමෙන් වැඩි ඵලදායිතාවක් ලබා ගත හැකියි.
සංචාරක කර්මාන්තයෙන් විශාල ලෙස විදේශ විනිමය උපයා ගත හැකියි. නිවැරැදි සැලසුම් සහිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් ඉදිරි වසර 10 තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය කළ හැකියි. ඉදිරි දශකයේ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකින් විශාල විදේශ විනියමක් උපයා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඉතින් ඇයි අපි අපේ මුළු බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් දේශසීමා රහිත සංචාරක කලාපයක් බවට පත් නොකරන්නේ? මම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. එම ප්‍රදේශවලට ආවේණික කෑම වර්ග 60 – 70ක් අතර බිරියානි වර්ග හැම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා. අපේ මඩකළපුව ප්‍රදේශයට ගියොත් බිත්තර 24ක බිරියානි කන්න පුළුවන්. අපි ඇයි එය අලෙවි නොකරන්නේ? තායිලන්ත ජාතිකයන් ඔවුන්ගේ ආහාර අලෙවි කර ඇති ආකාරය බලන්න. ඉන්දියාවේවත් නැති චිකන් ටික්කා මසාලා තායිලන්තය මාර්කට් කරනවා. එක් එක් ප්‍රදේශවලට ආවේණික බිරියානි වර්ග සකස් කළ යුතුයි. රස බලන්න එන්න කැමති අයට ලෝකයේ ඇති තරම් බිරියානි අවන්හල් තිබේවි. අපි බිම්ස්ටෙක් කලාපය විවෘත කළ යුතුයි. ඇයි අපි බෙංගාලබොක්ක මුහුදු ගමන් සඳහා භාවිතා නොකරන්නේ? නැඟෙනහිර ආසියාවෙන්, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, බටහිර ආසියාවෙන්, අප්‍රිකාවෙන් සංචාරකයන් පැමිණෙනවා නම් අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. මහාබලිපුරම්, ඔඩිෂා වැනි ස්ථාන යුරෝපීයයන් සහ අනෙකුත් සංචාරකයන් නැරඹිය යුතුයි. කොක්ස් බසාර් එක නැරඹීමට, අන්දමන් දූපත් හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතු අතර, එය දැනටමත් ඉන්දියානුවන්ගෙන් පිරී තිබෙනවා. මියන්මාරය දෙස බලන්න. ඔවුන්ට අන්දමන් මුහුදේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කළ හැකියි. අප අපේ සංචාරක සැලසුම් දැන් ආරම්භ කළොත් තවත් වසර 10ක් ගත වන විට අපට දියුණු සංචාරක කර්මාන්තයක් හිමිවෙනවා. ඇයි අපට සංචාරක ගමනාගමනය සඳහා නිසි සැලසුම් නැත්තේ? ඔබ ලුම්බිණියට ගිය පසු ඊළඟ ගුවන් යානය ඔබව බුද්ධගයාවට ගෙන යනවා. ඊළඟ ගුවන් යානය ඔබව කොළඹට ගෙන යා යුතුයි. එවිට දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත හැකියි. අප එලෙස මේ සැලසුම් සකස් කළ යුතුයි. වසරකට සංචාරකයන් මිලියන ගණනක් අපේ කලාපයට ගෙන්වා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ අනුව බිම්ස්ටෙක් කලාපය විශාල සංචාරක කලාපයක් බවට පත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කළ විට දැන් ක්‍රිකට් පිළිබඳ සඳහන් කරන විට ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතරම් විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා නම්, ඇයි අපට එකට එකතු වී සංචාරක ව්‍යාපාරයෙන් විශාල සාර්ථකත්වයක් ලබා ගත නොහැකි. අපි සියලු දෙනා එකට එක් වී අපේ කලාපය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කර ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට කැපවෙමු.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා – මේ සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම මම ඉතා අගය කොට සලකනවා. පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සුන්දරම ප්‍රදේශ කීපයක් හරහා අමතක නොවන දුම්රිය ගමනක් ඔබ වෙනුවෙන් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ සඳහා මා ඇතුළු පිරිසක්ද සහභාගි වුණා. මා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මීදුම සහිත වනාන්තර, වතුකරය සහ සුන්දර භූ දර්ශනය හරහා ගිය සුන්දර ගමන සිහිපත් කිරීමට පමණක් නොවෙයි. එහිදී මට කරුණු දෙකක් සිහිපත් වුණා. ඉන් එකක් නම්, ඉන්දියාවේ සිට පැමිණි මෙහි සිටින අයට හුරුපුරුදු විය හැකි ප්‍රදේශයි. එහිදී වසුරි සහ නීල්ගිරිස් ප්‍රදේශ සඳහා යන ගමන් මඟ සිහිපත් වෙනවා. වසුරියට සමාන උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයක වැටී තිබෙන මේ දුම්රිය ගමන දෙපස ඇති තේ වතු නිසාම ඉන්දීය ජනතාවට නීලගිරී දෙසට ගමන් කරන අන්දමක් සිහිපත් කරනවා. එම දුම්රිය ගමනේ, ගමනාන්තය වන ලෝකයේ ප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම හා ප්‍රසිද්ධ ඇල්ල නම් ස්ථානයට ළඟා වූ විට, මට මගේ ඇස් අදහා ගත නොහැකි වුණා. එම ප්‍රදේශය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වී තිබෙනවා. ඒ තරමටම එය ආකර්ෂණීයයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් එහි සිටියා. ජනාධිපතිතුමනි, ඔබ මෙහි පැමිණීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමෘද්ධිය සඳහා වඩාත් සමීප හා සහයෝගීතා පියවරක් ලෙසයි මා දකින්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව දැඩි සහෝදර සම්බන්ධතාවක්. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූගෝලීය සමීපත්වය පිළිබඳ අපි කවුරුත් දන්නවා. සහස්‍ර ගණනාවක් පුරා පවතින දෙරට අතර මේ භූගෝලීය සමීපත්වය ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, ආගම්, භාෂා, සංගීතය, චිත්‍රපට, ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය, ගෞරවය, සාමය යන අංශවලින් සාක්ෂි දරනවා. මේ සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් සංචාරක ඇමතිවරයාට මෙන්ම ඒ සඳහා නායකත්වය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ විශේෂ ස්තුතිය පුද කළ යුතුයි.
පසුගිය මාස කීපය තුළ සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වූ චෙන්නායි – යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පමණක් නොව, මෙම ගුවන් ගමන් ජූලි 16 වනදායින් ආරම්භ වන සතියේ සිට සෑම දිනකම ක්‍රියාත්මක කිරීමට අපට හැකිව තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ධාවනය නොවූ දෙරට අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නෞකාවන් පිළිබඳ අදහස තවදුරටත් අදහසක් පමණක් නොවන බව කිවයුතුයි. ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා දැන් ඔවුන්ගේ මුදල් භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මුදල් භාවිතය ද සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය හේතුවක්. දෙරට අතර ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින අතර, මෙය දේශසීමා ඉක්මවා ගොස් ජීවිත පරිවර්තනය කිරීමට පමණක් නොව, අපගේ පොදු උරුමය ගොඩනැඟීමටද හේතුවනු නිසැකයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය 2023 මේ මස 06 වනදා සිට 09 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සමඟ එක්ව ඉන්දියානු සංචාරක සම්මේලනය සමුළුව සහ ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ 67 වන වතාවට වීමද විශේෂත්වයකි. ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ (TAAI) සාමාජිකයන් සංචාරක තානාපතිවරුන් ලෙස සේවය කරන බැවින්, මේ සමුළුවට සත්කාරකත්වය සැපයූ සෑම ගමනාන්තයක්ම සංචාරකයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය තුළ දෙදින ව්‍යාපාරික සැසිය සහ ගැනුම්කරු සහ විකුණුම්කරු අතර හමු පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. මේ උත්සවයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් සහභාගිවී සිටින අතර, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු මේ උත්සවය ආවරණය කිරීම සඳහා සහභාගි වීම ද විශේෂත්වයකි. මෙම සමුළුවට අමතරව, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) හා සාමාජික සංගම් විසින් බෙන්තොට, ගාල්ල සහ මහනුවර ඇතුළු සංචාරක ගමනාන්ත ආවරණය වන පරිදි පශ්චාත් සමුළු චාරිකාව පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ (TAAI) කොළඔ සමුළුව සඳහා ශ්‍රීලන්කන් එයාර් ලයින්ස්, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ සහ Vistara ඇතුළු ගුවන් සමාගම් හතරක් හවුල්කාරිත්වය දරා ඇත. වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපති ජෝති මායල් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – චින්තක කුමාරසිංහ