Home » යුද්ධයක සිරි මවන ප්‍රංශයේ අරගලය

යුද්ධයක සිරි මවන ප්‍රංශයේ අරගලය

by gayan
July 8, 2023 1:10 am 0 comment

වර්තමානයේ කතාබහ කරන්නට කොතරම් මාතෘකා පැමිණිය ද සතියක් පුරාවට තවමත් කතාබහ කරනු ලබන්නේ ප්‍රංශය පිළිබඳවය. සාමකාමී ප්‍රංශය ගැන මීට පෙර අප කතා කළේ එරට පැවති විප්ලවය සම්බන්ධයෙනි. ප්‍රංශයේ විප්ලව කාලසමය පැවතියේ ක්‍රි.ව. 1789 – 1799 වකවානුවේදිය. විප්ලවයට පෙර කාලසමය යුරෝපයේ සමෘද්ධිමත් රාජ්‍යය වශයෙන් හැඳින්වූයේ ප්‍රංශයයි. යුරෝපයේ විශාලතම නගරය ලෙසින් හැඳින්වෙන පැරීසියේ ජනගහනය 650,000 කටත් අධික බව දැක්වේ. ඒ කෙසේ වෙතත් ප්‍රංශ විප්ලවය පිළිබඳ කතාබහ කළ අපට මේ වන විට කතාබහ කරන්නට සිදු වන්නේ අරගලයක සිරිමවන ප්‍රංශය පිළිබඳවයි. දැන් සතියකටත් අධික කාලයක සිට ප්‍රංශ ජනතාව අරගල කරන්නේ පොලිස් නිලධාරියකු විසින් පසුගියදා වෙඩි තබා ඝාතනය කළ ඇල්ජීරියානු සම්භවයක් සහිත 17 හැවිරිදි Nahel වෙනුවෙනි. පොලිස් නිලධාරියකු විසින් ඔහුව ඝාතනය කරනු ලැබුවේ මාර්ගයේ පසෙකට වන්නට රථය නවතා තිබීමේදීය යන්න සඳහන් වුවද පොලිසිය විසින් පවසා සිටිනු ලැබුවේ පොලිස් අණ නොතකා රිය පැදවීම හේතුවෙන් වෙඩි තබන්නට සිදුවූ බවය.

කතාව කෙසේ වෙතත් ප්‍රංශ ජනතාවට මේ කිසිවක් අදාළ නැත. ඔවුන් පෙනී සිටින්නේ මියගිය 17 හැවිරිදි තරුණයා වෙනුවෙනි. ජුනි 27 වනදා පොලිසිය විසින් කළ වෙඩි තැබීම සාධාරණ අයුරින් නීතිය ක්‍රියාත්මක වීමක් නොවන බව බහුතරයකගේ අදහසයි. එහි යම් තරමක සත්‍යයක් ඇති බව පිළිගත හැක්කේ මීට වසර කිහිපයකට ඉහතදී ප්‍රංශයේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළ නිසාය. එහිදී 2017 වර්ෂයේදී ප්‍රංශයේ පොලිස් භටයින්ට වැඩි වශයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට සිදුවනවාය යන කාරණාව මත ගිනි අවි භාවිතාව පුළුල් කරන ලදී. මේ හේතුවම තරුණයාගේ ඝාතනයට ද කරුණක් ලෙසින් පෙන්වාදිය හැකි කරුණකි. බොහෝ විචාරශීලී මත ඉදිරිපත් කරන්නන්ගේ අදහසට අනුව රථවාහන හා ඒ සම්බන්ධ වෙඩි තැබීම් ඉහළ යාමට මෙම සංශෝධනය හේතුවන බවත්, පොලිස් නිලධාරීන්ගේ අණට කීකරු නොවුණහොත් ඒ පිළිබඳව තීරණ ගැනීම ඒ ඒ නිලධාරියා සතුවන බවයි. මන්ද මෙම වර්ෂය තුළ මේ දක්වා පොලිස් වෙඩි තැබීම් නිසා පුද්ගලයින් තිදෙනකු මියගොස් ඇති අතර, ගිය වසරේදී එය 13 දක්වා වර්ධනය වී තිබිණි.

මේ ඝාතන තුළ ද පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණ වන්නේ මිය ගිය අයගෙන් බහුතරය වෙනත් ජාතීන්වලට අයත් විමයි. විශේෂයෙන් අරාබි හෝ කළු ජාතික සම්භවයක් සහිත අයවීමයි. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වැඩි වශයෙන් කරුණු සඳහන් කර සිටියි. ඒ නිසාම මෙය වර්ගවාදයේ ගැටුමක් ලෙසින් පවා ඉදිරියට පැමිණීමේ හැකියාවක් තිබෙන බව පෙනෙන්නට තිබේ.

පොලිසිය ගැන කතාව

ජුනි 27දා සිදුවූ Nahelගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් තම ප්‍රකාශය ගැන BBC පුවත් සේවය වාර්තා කරන්නේ මේ අයුරිනි. වෙඩි තැබීම සිදු කරනු ලැබූවේ පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා යෑම හේතුවෙන් බවත්, පදික වේදිකාවේ සිටි මගීන් අනතුරට පත්වන ආකාරයෙන් රිය පදවමින්, මාර්ග නීති කඩ කරමින් කටයුතු කළ බවත්ය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවේ පොලිසිය පාර්ශ්වයෙන් පෙනී සිටින නීතිඥවරයාය. ඔහුගේ මතය වන්නේ වෙඩි තැබීම කරනු ලැබූ පොලිස් නිලධාරියා කළ වෙඩි තැබීම නීත්‍යනුකූල බවයි. එමෙන්ම ඔහු නීතියෙන් පිට ගොස් කටයුතු කර නොමැති බවත් සඳහන් කරයි.

පොලිසියේ කතා ඒ ආකාරයෙන් සිදුවන විට ඝාතනය වූ තරුණයාගේ පාර්ශ්වයෙන් ඇසෙන්නේ වෙනත්ම වූ කතාය. ඒවා එසේ වන්නේ මියගොස් සිටින්නේ තමාගේ කෙනෙකු වන හෙයිනි. එහෙත් එය එසේ කීමට ද නොහැකිය. මුළුමහත් ප්‍රංශයම වාගේ එළියට බැස අරගල කරන්නේ සිදුවූ ක්‍රියාව යහපත් ආකාරයේ දෙයක් නොවන බැවිනි. කෙසේ වුවද පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ පොලිසිය විසින් පහත් තත්ත්වයට ඇද දමා අන් ජාතීන්ට මින් පෙර කතාබහ කළ ද දැන් එය ඔවුන් මරාදමන්නට තරම් තත්ත්වයකට පත්ව ඇති බවයි. Nahelගේ ඝාතනය පිළිබඳව ලොව පුරා මාධ්‍යයෙන් මෙතරම් කතාබහ කළ ද ඉන් පෙර සිදුවූ ඝාතනයන්ට එවන් ආකාරයේ ප්‍රචාරයක් නොලැබුණු බවයි.

ඔවුන් පවසන්නේ මෙවැන්නක් සිදුවූ පළමු වතාවද මෙය නොවන බවකි. Nahelගේ මව පවසන දේට පිළිතුරු දිය හැකි කිසිවකුත් මෙලොව නොමැති බව ඇයගේ ප්‍රකාශයත් සමඟ කාහටත් සිතෙන්නා වූ කරුණකි. ඇය පවසන්නේ මෙවැන්නකි. “ඔහු නිවෙසින් පිටව යන විටත් මාව ඉඹලා අම්මා මං ඔයාට ආදරෙයි කියලා ගියේ. ඒත් දැන් කෝ මට මගේ පුතා. මං කොහොමද දැන් තනියෙන් ඉන්නෙ” යනුවෙනි. එලෙසින්ම ඇය පවසන්නේ ප්‍රංශ පොලිසියට මීට වඩා යහපත් ආකාරයෙන් අවි ආයුධ භාවිතය පිළිබඳව දැනුම්වත්කමක් ලබාදිය යුතු බවත්, වාහනයක් නැවැත්වීම කවරෙකු හෝ ප්‍රතික්ෂේප කළහොත් එයට වෙඩි තැබීමට පොලිසියට ලබාදී ඇති බලය සම්බන්ධයෙන් නැවතත් විමසා සිටිය යුතු බවත්ය.

තවද තවත් එක් ඥාතියකු පවසන්නේ සියලු කලබලකාරී වාතාවරණයන් යළිත් යථා තත්ත්වයට පත්විය යුතු බවයි. මේ සියල්ල සන්සුන් නොවීම හේතුවෙන් ඔවුනට තම ඥාති පුත්‍රයා වෙනුවෙන් එකට සිට එක විනාඩි පහකට හෝ ඔහු නොමැති බව සිතන්නට නොහැකි වූ බවත්ය. මේ සියලු කතා මැද මියගිය තරුණයාගේ මිත්තනිය පවසන්නේ වෙනස්ම දෙයකි. එය මුළුමහත් ප්‍රංශ ජනතාවගෙන්ම කළ ඉල්ලීමකි. ඇය එරට රූපවාහිනී නාලිකාවකට පවසා සිටියේ පාසල් විනාශ නොකරන ලෙසත්, බස් රථ විනාශ නොකරන ලෙසත් මෙම බස් රථවල පවා යන්නේ තවත් මවුවරුන් බවත්ය.

අනතුරෙන් පසු සිදුවූ කලබැගෑනි

Nahelගේ ඝාතනයත් සමඟින් පැය කීපයක් යන්නට මත්තෙන් එරට ජනතාව වීදි කරා පැමිණ විරෝධතා පවත්වන්නට වූහ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ඝාතනය කරන ලද තරුණයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරමින් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ සමඟම වීදි පුරා පාගමන් ආරම්භ වූ අතර, ඝාතනයෙන් දින දෙකකට පසු එනම් 29 වැනිදා ඔහුගේ මවද මේ සඳහා සහභාගි විය. ජනතාවගේ මහත් විරෝධය මත මේ සඳහා හේතුවූ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම කලබැගෑනි හේතුවෙන් පසුගිය මස 30 වනදා වන විට 150කට අධික විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ වන විට ගොඩනැගිලි 350ක් සහ රථවාහන 300ක් පමණ දැඩි අලාභහානිවලට ලක්වී තිබිණ. එය වසර ගණනාවකට පසු ප්‍රංශයේ ආරම්භ වූ දරුණුතම ජනතා නැඟී සිටීමයි. එමෙන්ම විරෝධතාවයේ පස්වන දිනයේදී තවත් 100ක පමණ ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. කැරලිකරුවන් මර්දනයට වැඩි පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් යෙදවීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළහ. කඩා බිඳ දැමීම්, ගිනි තැබීම් මධ්‍යයේ එහි රස්නය දැනුනේ ප්‍රංශයට පමණක් නොවේ, ඔවුන්ගේ අසල්වාසී රටවල් වන බෙල්ජියම හා ස්විස්ටර්ලන්තයට පවා ප්‍රකෝපකාරී උණුසුම පැතිර යන්නට විය. මේ හේතුවෙන් ස්විස්ටර්ලන්තයේ වෙළෙඳ සැල් කිහිපයකට හානිකොට තිබූ අතර, බෙල්ජියමේද එවැනි සුළු සිද්ධීන් කිහිපයක් වාර්තාවී තිබිණි. මේ කලබලකාරී වාතාවරණය නිසා ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ජර්මනියේ කරන්නට තිබූ සංචාරයද නතර කර දැමීය. ඒ කරුණු කෙසේ වෙතත් ප්‍රංශයේ කලබලකාරී වාතාවරණය දිනෙන් දින වැඩිවූවා මිස අඩුවීමක් දක්නට නොලැබුණි.

ආරම්භය එසේ වුවත් සතියකට පසු එහි තත්ත්වය වඩාත් දරුණු විය. එම සතිය අවසානයේ ප්‍රංශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් වීදි පුරා රැස්වෙමින් කළ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රථවාහන 3000කට ආසන්න ප්‍රමාණයක් ගිනිබත් කළ අතර, ඒ වන විටත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට ගිනි තැබීම් සිදුවිය.

පොලිසියෙන් තවත් කතාවක්

රථ වාහන නීති පිළි නොපිළිපදිමින් තරුණයා ඝාතනය කළ පොලිසිය ඇවිළෙමින් තිබෙන ජනතා උද්ඝෝෂණයට තවත් එක් කතාවක් එක් කරන්නට විය. ඔවුන් පවසන්නේ ප්‍රංශයේ මේ වන විට පවතින තත්ත්වය පිටුපස අන්තවාදී මුස්ලිම් ජනතාව සිටින බවයි. එයට නිදසුන් ලෙස ඔවුන් ගෙනහැර පාන්නේ තරුණයාගේ ඝාතනයෙන් පසු පැවති දින ගණන පුරාම මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බව කියමින් ඔවුන් උද්ඝෝෂණය කළ බවයි. ඒ අතරවාරයේ යුරෝපය තුළ ඉස්ලාම් දේශය බිහිකරන බවද පවසා තිබිණි.

වසර ගණනාවකට පසු ප්‍රංශයේ පැනනැඟුණු දරුණුතම මහජන නැඟිටීම පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් පමණ යෙදවීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළහ. මේ දැඩි ආරක්ෂක රැකවල් හේතුවෙන් 3000කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. තවදුරටත් ජනතා නැඟිටීම් මැඬපැවැත්වීමේ අරමුණින් සියලුම නගරවල නගරාධිපතිවරුන් අරගලයට එරෙහිව රැලි සංවිධානය කරන්නට විය. මේ අතර නගර 220ක නගරාධිපතිවරුන් සමඟ ජනපතිවරයා විශේෂ ආරක්ෂක රැස්වීමක්ද සංවිධානය කර තිබිණි.

මෙවන් විරෝධතාවයන් අතරේ ජනතාව තුළින්ම මෙවැනි කතාවක් ද පත්තු වෙමින් පවතී. එනම් පොලිසිය සිදුකළ මෙහෙයුම තුළ කිසිදු අකටයුත්තක් නොමැතිව ඇති බවයි. ඔවුන් පවසන්නේ ඝාතනය වූ තරුණයා කඩාකප්පල් ක්‍රියාවකට එක්ව සිටි අයකු බවත්, මියයන විට පදවාගෙන ගොස් ඇත්තේ සොරකම් කළ රථයක් බවත්ය.

මේ අතරම සිදුවූ තවත් විශේෂිත සිදුවීමක් වන්නේ තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා වෙනුවෙන් අරමුදලක් ආරම්භ කර ඇති බවයි. එය නම් කර ඇත්තේ “Go fund me” යනුවෙනි. මේ වන විට ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එක්රැස්වී ඇති අතර, තවත් පිරිසකගෙන් ඒ සඳහා විවේචන යොමුවී ඇති අතර, වාමාංශික හා මධ්‍යම දේශපාලනඥයන් මෙම අරමුදල නවතා දමන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.

කෙසේ වුවද ප්‍රංශයේ ජනතා නැඟිටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් විශාල වශයෙන් තුවාල ලබා තිබිණි. එමෙන්ම පැරීසියේ සහ ඒ අවට ගොඩනැගිලි වැඩි වශයෙන් හානියට පත්වෙමින් ගිනි ගැනීම් විශාල ප්‍රමාණයක් ද සිදුවිණි. මේ වන විටත් සමස්ථයකට පත්ව නැති විරෝධතා හමුවේ එහි හෙට දවස තීරණය වන්නේ කවර ආකාරයෙන්ද දන්නේ ඔවුන්ම පමණි. එහෙත් පැවසිය යුතු එකම දේ වන්නේ ප්‍රංශ විරෝධතාවය දැඩි අරගලයක සිරි උසුලන බව පමණි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT