කල්පිටියේ ගම් රැසක ජීවන මාර්ගය වෙලා:
ජම්බෝ ඉද්ද හඳුන්වා දුන්නේ කරුණාවතී
හවසට නෙළන ඉද්ද පොහොට්ටු එදාම අරන් යනවා
සෑම දිනකම සවස් වරුවේ පැය කීපයක් කල්පිටියේ ගම්මාන රැසක කාන්තාවන් කාර්යබහුල වෙති. ඒ තම ඉඩමේ වගාකර ඇති ජම්බෝ ඉද්ද වගාවේ පොහොට්ටු කැඩීමට කාන්තාවන් තම පවුලේ පිරිස් සමඟ එක්වීම නිසාය.
කල්පිටිය ජම්බෝ ඉද්ද වගාව අද වන විට මේ කල්පිටියේ කාන්තාවන්ට අතමිට සරුකළ කිසිවකුටත් අත නොපා ජීවත් වීමේ අවස්ථාව උදා කර තිබේ.
මේ ජම්බෝ ඉද්ද වැඩි දියුණු කිරීමට කල්පිටියේ හා අවට ප්‍රදේශවල කැලෑ ආශ්‍රිතව තිබූ දිග කොළ ඉද්ද, පේර කොළ ඉද්ද, බේබි ඉද්ද, රෝස ඉද්ද හා වෙරිගෙටඩ් කැලෑ ඉද්ද වර්ග යොදාගෙන ඇත්තේ කල්පිටිය වැනි අධික අව් රශ්මියට හා අනිකුත් දේශගුණිය තත්ත්වයන්ට ද ඔරොත්තු දෙන විදියට නිර්මාණය කීරීමට මේ පිරිස් දක්ෂය.
සුදු පැහැති කල්පිටි ජම්බෝ ඉද්ද අලංකාර මල් පෙති පහකින් සමන්විතය. ඒ සමඟම එහි අලංකාරත්වය හා වර්ණවත් බව වැඩි වීමට මල් පෙතිවලට මැදි වූ මල් රේණු ගොන්න අපූරු නිර්මාණයක් වී තිබීම කල්පිටි ජම්බෝවල ඉල්ලුම වැඩි වීමට හේතු වී ඇති බව කියයි.
පැළ සිටුවා මනා ලෙස වර්ධනය කරමින් සාරවත් ලෙස වැඩුණු කල්පිටිය ජම්බෝ ඉද්ද මාස හයකට ආසන්න කාලයකදී දෛනිකව පොහොට්ටු කැඩීමේ හැකියාව පැවතිය හැකි වීමත් සමඟ ආර්ථික අතින්ද මේ මල් වගාව ජනතාව අතර ප්‍රචලිත වීමට බලපෑ හේතු කීපයකි.
කල්පිටිය අර්ධද්වීපයට අයත් කරඹ, මින්නිය, සේතපොල, දළුව, නිර්මලපුර, 6 කණුව, නාවක්කාඩු, මාම්පුරිය, පනිඅඩිය, තලවිල ඇතුළු ප්‍රදේශ රැසක අක්කර සිය ගණනක් පුරා කල්පිටි ජම්බෝ ඉද්ද වගාකර ඇති බව වගාකරුවෝ පවසති.
කල්පිටිය වගා බිම්වල වගා කරන ජම්බෝ ඉද්ද පොහොට්ටු නෙළීම සිදුවන්නේ සෑම දිනකම සවස් වරුවේය.
ඒ සඳහා කිසිම කුලී ශ්‍රමිකයකු දායක කර නොගන්නා බව වගාකරුවෝ පවසති. ඒ නිසාම පවුලේ උදවිය විසින්ම ඉද්ද පොහොට්ටු නෙළීම සිදුකරන්නේ ලැබෙන මුදල තම පවුලේ කටයුතු වෙනුවෙන්ම දායක කර ගැනීමේ අරමුණින් බව ඔවුහු කියති.
කල්පිටි ජම්බෝ ඉද්ද වගා කරන්නේ කාන්තාවන්ය. ඇතැම් කාන්තාවන් මේ ජම්බෝ ඉද්ද වගාව තම පවුල නඩත්තු කිරීමට වැය වන සියලු වියදම් ඉද්ද පොහොට්ටු කඩා අලෙවි කර උපයා ගන්නා මුදලින් කරයි.
කල්පිටිය අර්ධද්වීපයේ පමණක් නොව ඒ ආසන්නයේ පිහිටි මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තොඩුවාව, කජුවත්ත, සින්නපාඩුව, උඩප්පුව, පෙරුක්කුවට්ටාන, කට්ටකඩුව ප්රදේශවලද මේ වන විට ජම්බෝ ඉද්ද වගාව සාර්ථකව වගා කරති.
මේ වන විට කල්පිටිය අර්ධද්වීපයේ හා මුන්දලම ආශ්‍රීතව ජම්බෝ ඉද්ද වගාකරුවෝ 300කට ආසන්න පිරිසක් සිටිති.
එසේ වගා කරන කල්පිටිය ජම්බෝ ඉද්ද පොහොට්ටු දෛනිකව සවස් කාලයේ නෙළා ගන්නා අතර එදිනම මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් වෙත ලබාදීමට වගාකරුවෝ පෙලඹී සිටිති.
එසේ ගැනුම්කරුවන් මිලදී ගන්නා ඉද්ද පොහොට්ටු දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, කැලණි විහාරය, කතරගම, යාපනය නල්ලූර් කෝවිල ඇතුළු දිවයින පුරා පිහිටි කෝවිල් වෙත සේම සිංහල හා හින්දු විවාහ මංගල අවස්ථා ඇතුළු සියලුම උත්සව අවස්ථාවන්ට ගැළපෙන ලෙස ඉද්ද පොහොට්ටු බස් හා වෙනත් ප්‍රවාහන ක්‍රම උපයෝගී කර ගනිමින් ආරක්ෂිතව දෛනිකව යැවීම සිදුවෙයි.
කෙනෙකුට බරක් නොවී දෛනිකව ආදායමක් උපයා ගත හැකි කල්පිටිය ජම්බෝ ඉද්ද වගාව ඉතාමත් සාර්ථක වගාවක් බව මේ වගාකරුවන් මේ වන විට සනාථ කර අවසන්ය.
ජම්බෝ ඉද්ද කිලෝව ඇතැම් අවස්ථාවල රුපියල් 6000ක මිලකට අලෙවි වන අතර ඇතැම් විටක එය රුපියල් 2000ක මිලකටත් පහත වැටෙන බව ඔවුහු කියති.
මිල අඩු වැඩිවීම් හා අනිකුත් සියල්ල හමුවේ කල්පිටිය ජම්බෝ ඉද්ද වගාව බාධක මැද පවත්වා ගෙන යෑමට වගාකරුවෝ මහත් පරිශ්‍රමයක් ගනිති.
කල්පිටියට මේ සුවිශේෂ ජම්බෝ ඉද්ද වගාව හඳුන්වා දුන් දළුව ඒ.එම්.ඒ. කරුණාවතී මහත්මිය අමතක කළ නොහැකි චරිතයකි. මේ ඇය තම අතීතය ගැන කළ ආවර්ජනයකි.
“මම වගාව ආරම්භ කර මේ වන විට අවුරුදු 30කට ආසන්නයි. ඇත්තටම අපේ පැත්තේ විශාල වශයෙන් ඒ සමයේ තිබුණේ කැලෑ ඉද්ද. ඒ මල් පොහොට්ටු ඉතාම පුංචියි.
ඒ වන විටත් මම විවිධ මල් හා පලතුරු බද්ධ කිරීම් අරඹා තිබුණා. ඒ නිසාම මට හිතුනා මේ කැලෑ ඉද්ද අලුත් විදිහට වෙනස් ආකාරයට මිනිසුන් පුදුම කරවන මලක් විදියට නිර්මාණය කරන්න.
ඒක මම ලොකුවට හිතාගෙන කරපු දෙයක් නොවෙයි. නමුත් මම කළ කැපවීම සාර්ථක වුණා. එය කෑලැ ඉද්දවලට වඩා වෙනස් අලංකාර තරමක් විශාල මලක් ලෙස සැකසුණා.
ඒ අනුව මම මේ මලට කල්පිටිය ජම්බෝ කියලා නම තැබුවා. ඒ තියලා මම ජම්බෝ ඉද්ද පැළ මගේ මල් වගාවේ ආරම්භ කළා. එය දැකපු හුඟක් දෙනෙකුගෙන් ලැබුණු ඉල්ලුම අනුව මම පැළ ලක්ෂ ගණනක් මේ වන විට ලබා දී තිබෙනවා.
ඇත්තටම සතුටුයි. මම මොන තරම් වාසනාවන්තද කියා හිතෙනවා. මගේ ඉද්ද පැළ අද කල්පිටිය, මුන්දලම විතරක් නොවෙයි රට පුරාම විසිරී තිබෙන එක ගැන තිබෙන්නේ පුදුම සතුටක්. ඇය පැවසුවාය.
ඉද්ද වගාවෙන් මේ වන විට තම ජීවිතය සරිකර ගත් පිරිස සුළු පටු නොවේ. මල් වගාකරුවන් පමණක් නොවෙයි ඒ ආශ්‍රිතව වක්‍ර රැකියා හරහා දිවි ගෙවන පිරිසද විශාලය.
කල්පිටිය ජම්බෝ ඉද්ද වගාවේ නිරත වගාකරුවෙක් වන සමන් තිස්ස මහතා මෙසේ කියයි.
‘ඇත්තටම පුදුම සතුටකින් අපි මේ වගාවේ නිරත වන්නේ. අද වන විට අපේ ප්‍රධාන ජීවිකාව බවට පත් වී තියෙන්නේ ඉද්ද වගාව. හොඳ ආදායමක් ගන්න හැකියාව ලැබී තිබෙන නිසා ඉතාම සතුටින් වගාව සාර්ථක වගාවක් ලෙස පවත්වාගෙන යමින් අපි ජීවිතය ගෙවනවායැයි පැවසීය.
රේණුකා පියසිලි මහත්මිය වසර 10කට ආසන්න කාලයක් පුරා කල්පිටිය ජම්බෝ ඉද්ද වගාවක් නිසි ලෙස පවත්වාගෙන යන කාන්තාවකි. ඇය මෙසේ පවසන්නීය.
“ඉද්ද වගාව කියන්නේ කාන්තාවකට ඉතාම පහසුවෙන් කිසිම ගැටලුවක් නැතිව කළ හැකි වගාවක්. මොකද විශාල වශයෙන් පොහොර යෙදීමට අවශ්‍ය වෙන්නෙත් නැති නිසා කාන්තාවකට ගැළපෙන වගාවක් ලෙසයි මා දකින්නේ.
මේ වගාව අපේ පරිසරයට ඔරෝත්තු දීම තමා ඉතාම වැදගත්. ඒ නිසාම මේ පරිසරයට අනුගත වූ වගාවක් ආසාවෙන් කරන්න ලැබීම ගැන පුදුම සතුටක් තිබෙන්නේ.
අනික මගේ දරුවෝ දෙන්නත් බලාගෙන තමා මම මේ වගාව කරන්නේ. හොඳ ආදායමක් ලැබෙනවා. අපි යමක් සොයා ගත්තා නම් ඒ ඉද්ද පොහොට්ටු නිසා කියා කියන්න ඕනෑ.
මගේ දුවලා දෙන්නාත් මට පුදුම සහයෝගයක් දෙන්නේ. මොකද හවස පහෙන් පස්සේ පොහොට්ටු කඩන නිසා අපට කිසි කරදරයකුත් නැති වගාවක් ලෙසයි මම නම් මේක දකින්නේ.
ඉනෝකා මල්කාන්ති මහත්මියද දරුවන් දෙදෙනකුගේ මවකි. තම සැමියාගේ වියෝවෙන් පසු අසීරුවෙන් දිවි ගෙවු ඇය ඉද්ද වගාවෙන් ජයගෙන ඇති බව මෙසේ පවසන්නීය.
“මගේ මහත්තයා නැහැ. අපට මුලදී පුදුම අසරණකමක් වුණේ. නමුත් මේ ඉද්ද වගාව මම පටන් අරන් අවුරුදු හතක් වෙනවා. දැන් දෙයියනේ කියලා කිසි කෙනකුට අත නොපා ජීවිතය ගෙනි යන්න හැකි වුණේ මේ ඉද්ද වගාව නිසයි.
ඒ නිසා අපි පුදුම සතුටකින් දැන් මේ වගාව සමඟ රැඳී සිටිනවා. ඉද්ද පොහොට්ටු කියන්නේ මගේ ජීවිතය. එහෙම කීවොත් ඒක නිවැරදියි.
මිනිසුන් බොහෝ අභියෝග ජය ගනිති. ඇතැමුන් කිසිවක් නැතැයි කියා හඬා වැටෙන විට කල්පිටියේ මේ ඉද්ද වගාකරුවෝ ජීවිතය අලුත් මාවතකට ගෙන යන්නට ඉද්ද වගාව දායක කරගෙන ඇත්තේ බැරිය කියන මිනිසුන්ට අලුත් පාඩමක් කියා දෙමිනි.