නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.
ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ඔවුහු සුහද සාකච්ඡාවක නිරත වූහ. ආරක්ෂක ලේකම්වරයා නව ගුවන් හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ඔහු වෙත සිය සුබ පැතුම් එක් කළේය. හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව එයාර් වයිෂ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජුනි මස 30 වැනි දින එයාර් මාර්ෂල් නිලයට උසස් කර 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කෙරිණි.
ආරක්ෂක ලේකම්වරයා සහ ගුවන් හමුදාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද මේ හමුවේ දී සිදුවිය. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගි විය.