Saturday, May 10, 2025
Home » රට මේ තැනට වැටුණේ වැරැදි තීන්දු තීරණවලින් -සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

රට මේ තැනට වැටුණේ වැරැදි තීන්දු තීරණවලින් -සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

by admin
July 8, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඉතිහාසයේ සිට පැවැති වැරැදි කළමනාකරණය සහ වැරැදි තීන්දු තීරණ හේතුවෙන් අපේ රට අද පවතින තත්ත්වයට ඇද වැටී තිබෙන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය වෙනස් කළයුතු බව පෙන්වා දෙන ඇය දේශපාලනඥයන්ට දොස් නඟමින් කාලය ගතකිරීම නොව රටේ ජනතාව ද එක්ව රට දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද පෙන්වා දෙයි.

ඇය මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි සංචාරක රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඩයනා ගමගේ මහත්මිය මෙසේ ද කීවාය.

Òඅපට රට බංකොලොත්වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වුණා. රට බංකොලොත් වුණේ ඇයි. ඒ අපේ රටේ පැවැති වැරැදි කළමනාකරණය, වැරැදි ණය කළමනාකරණය හේතුවෙන්. ණය කළමනාකරණය කරන විදිය රටේ ජනතාව දැනගත යුතුයි. මේ ණය ලබාගෙන ආණ්ඩු මොකද කර තිබෙන්නේ. මේවාට කර තිබෙන ව්‍යාපෘති මොනවාද? පසුගිය කාලයේ විශාල වැඩ කොටසක් කර තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් විට අපේ රටට ඩොලර් බිලියන 83ක පමණ ණයක් තිබෙනවා. විදේශීය සහ දේශීය ණය ඒ අතර වෙනවා. ඩොලර් මිලියන 42000ක් දේශීය ණය වෙනවා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දෙන්න කියා ඉල්ලනවා.

විදෙස් රටවලින් අපි ඉල්ලීමක් කරනවා ඩොලර් බිලියන 17ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියා. අපට අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බැරි ඇයි. මේ තිබෙන තත්ත්වයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නේ නම් ඉදිරියට රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙය කළ යුතු වෙනවා. මේ නිසා අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තීරණය කළා. මේකට විපක්ෂය ගෝනිබිල්ලෝ මැව්වා. වැරැදි මත පළ කරනවා. හැම දෙයක්ම කළා. ඒවා කරලා රට නැවතත් අගාධයට ඇද දමන්න හදනවා. මේක කරන්නේ නැතිනම් නැවතත් අපේ රට පෝලිම් යුගයකට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9න් ලංකාව ගොඩගන්න බැහැ. සංචාරක කර්මාන්තයෙන් 2018 වසරේ දී ඩොලර් බිලියන 4.7ක ආදායමක් ලබා තිබෙනවා.

කාන්තාවන්ගෙන් ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් රටට එවනවා. මේ සියල්ල තිබිය දී වැරැදිම වැරැදි තීන්දු තීරණ හේතුවෙන් මේ රට මේ තත්ත්වයට පත්ව තිබෙනවා. මේක එක්කෙනෙක් දෙන්නෙක් කළ දෙයක් නොවෙයි. 225කින් සිදුවන වැඩක් නොවෙයි. ඔවුන් 225 ඉන්නේ රටේ නීති සම්පාදනය කරන්න. මූල්‍ය කළමනාකරණය කරන්න. නමුත් 225 අතරින් මේකට සම්බන්ධ නැති අය නැහැ කියන්නෙත් නැහැ. ඒ අය තෝරා ගත්තෙත් කවුද? ජනතාව. රටේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කරන්නේ කවුද කියා තීරණය කළ යුතු වෙනවා. වැඩක් කළ හැකි කෙනෙක් තෝරා ගත යුතු වෙනවා. මේ ගහන කතිරය ගැන හොඳ තීරණයක් ගත යුතු වෙනවා. 225 හැමදාම බැණුම් අහනවා. මේ ඉන්න 225 ඉවත් වෙනවා නම් තවත් 225ක් මෙතැනට එනවා. ඒ අයත් එළවනවාද?

ජනතාව තීරණය කළ යුතුයි අපේ රට අගාධයට නැවතත් ඇද දාන්න ඕනෑද කියා. අද අපේ ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්ව යනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5ක් විතර වැටුපක් හිමිවෙනවා. කොරියාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි රටක්.

එහි නායකයෝ ජනතාව එකතු කරගෙන රට ගොඩ දැම්මා. ජනතාව සියලු රන් භාණ්ඩ රජයට ගෙනවිත් දුන්නා. අපි මේ රට ගොඩදාමු කීවා. නමුත් අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කීවා විතරයි විපක්ෂයේ හැසිරීම දැක්කාම රන් භාණ්ඩ ගැන තියෙන්නේ හීනයක් විතරයි.

රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. රටේ ජනතාවට තිබෙන ආදරයට නොවෙයි විපක්ෂය මේ හැම දෙයක්ම කරන්නේ. ඔවුන් උත්සාහ කරන්නේ බලය ලබාගැනීමට යැයි පැවසුවාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT