බෞද්ධ සිද්ධස්ථානයක් වන ලුම්බිණිය වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා බෞද්ධ රටවල් විසින් ලුම්බිණි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඍජු ගුවන් ගමන් හඳුන්වා දිය යුතු බව නේපාලයේ හිටපු අගමැති සහ නේපාල කොමියුනිස්ට් පක්ෂ සභාපති වන මාධව් කුමාර් නේපාල් මහතා පැවැසීය.
කත්මණ්ඩු සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් දැනටමත් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා බලධාරීන්ට එය ලුම්බිණියේ සිට කොළඹ දක්වා දීර්ඝ කළ හැකි බවත් එමඟින් බුදුන් උපන් දේශය වන්දනා කරන සංචාරකයන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීමට හැකි බවත් අරලියගහ මන්දිරයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මාධව් කුමාර් (Madhav Kumar) මහතා සඳහන් කළේය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කිරීම හා කර්මාන්ත සහ ජල විදුලිය වැනි නව ක්ෂේත්‍රයන්හි එකිනෙකාගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම වැනි කරුණු පිළිබඳව මේ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
මාධව් කුමාර් නේපාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන ලද සමුළුවට සහභාගිවීමටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා මහත්වරු මේ හමුවට සහභාගි වී සිටියහ.